කටකාරයාද? වැඩකාරයාද?

2012

උග්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් ඔහුට දැඩිව ඇලුම් කරයි. ඔහුගේ කොණ්ඩ විලාසිතාව කැපීපෙනෙන්නකි. ඔහු පන්දු යවන ඉරියව්ව පෙර වෙනත් කිසිවෙකුගෙන් නොදුටුවකි. ප්‍රේක්ෂකයන් ඔහුට කෙතරම් ඇලුම් කළද පිතිකරුවන් නම් ඔහුට කිසිසේත්ම කැමැත්තක් නොදැක්වූයේ මේ සියල්ලට වඩා දරුණු ඔහුගේ යෝකර් පන්දුවල ඉලක්කය නිසායි.

ඔහුට අකමැති තවත් පාර්ශව කිහිපයක් විය. ඒ අලස බලධාරීන් සහ ඇතැම් මාධ්‍යකරුවන් ය. ඊට හේතුවූයේ ඔහුගේ කෙලින් කතාව යි.

ඔහු, සපරමාදු ලසිත් මාලිංග. ගාල්ලේ රත්ගම ඉපිද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පියමන් කළ මාලිංග කදිම වැඩකාරයෙකි. කටකාරයෙකු ද වූ නමුත් ලොව පුරා සැබෑ ක්‍රිකට්ලෝලීන්ගේ ආදරයට මාලිංග පත්වූයේ ඔහුගේ කට නිසා නම් නොවේ. ටෙස්ට් තරග 30කදී ලත් කඩුලු 101ක් සහ එක්දින තරග 198කදී ලත් කඩුලු 296ක්, ඇඟ කිලිපොලා යන යෝකර් පන්දු, අවසන් මොහොතේ තරග බේරාදීම්, එමෙන්ම අවශ්‍ය මොහොතේදී පිත්තෙන්ද නුවණැතිව පහර එල්ලකිරීමේ දස්කම් ඒ ආදරයේ පදනමයි.

පසුගිය සති කිහිපයේදී මාලිංග මාධ්‍ය අතර ජනප්‍රිය වූයේ ක්‍රිකට් දස්කම් වලින් නොවේ. වාග් දස්කම් වලිනි. ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය ගැන නැගුණු චෝදනාවලට නොබියව දුන් ඔහුගේ පිළිතුරු තුළ සැඟවී තිබුණේ කණ්ඩායම් හැඟීමයි. කණ්ඩායම වෙත එන කඩු, කිණිසි වළකාලන පළිහ වන්නට ගොස් ඔහුට ඇතැමුන්ගෙන් ගෞරවද ඇතැමුන්ගෙන් ගැරහුම්ද හිමිවිය. එහෙත් අප දන්නා මාලිංග ඒ කිසිවක් මායිමකට නොගන්නෙකි. ඔහු එතරම් සවිමත්ය. එහෙත් ඔහුගේ අතීත දක්ෂතා හොඳින් මතකයේ ඇති ප්‍රේක්ෂකයන් ඔහු වටා පවුරක් සේ සිටියේය. ඔහු වෙනුවෙන් කතාකළේය. ඒ මාලිංග කටකාරයෙකු නිසා නොව, ඔහු වැඩකාරයා බව ප්‍රේක්ෂකයන් විශ්වාස කළ බැවිනි.

එනමුත් අද අප සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් ජය ගත්තේය. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අසාර්ථක විය. ක්‍රිකට් ඔස්තාර්ලාට අනුව නම් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංක්‍රාන්ති සමයකි. එහෙත් ක්‍රිකට් සංක්‍රාන්ති සමයන් වසර දෙකතුනක් පුරාවට ඇදීයන එකම රට ශ්‍රී ලංකාව යැයි අපට සැලකිය හැකිය. ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමෙන් ඉවත් වන විට ඊට ගැලපෙන ක්‍රීඩකයන් ආදේශ කරන්නට අප තරම් කාලය වැයකරන වෙනත් ටෙස්ට් රාජ්‍යයක් අපි නොදනිමු. හොඳයි, අපි එය මොහොතකට අමතක කරමු.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හිසරදයක් වී ඇති නවතම ප්‍රශ්නය එය නොවේ. ඒ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවන රාජ්‍යයයි. සිම්බාබ්වේ? ඔව්, ශ්‍රී ලංකාවට හිසරදයක් වී ඇති කණ්ඩායම එයයි.

මේ වන විට පැවැත්වෙන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 300ට වැඩි ඉලක්කයන් දෙවරක් හඹාගොස් 2-2ක් ලෙස තරගාවලිය සමකරන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ. ඒ, එක්දින තරග තුළ ලබාගත් කඩුලු ත්‍රිත්වයන් හතරක්, පිට පිට පන්දු හතරකදී ලබාගත් කඩුලු හතරේ දක්ෂතාවයක්, හිතන පතන හැටියට යෝකර් පන්දු යැවීමේ හැකියාවක් සහ එඩිතර සිතක් සහිත ලසිත් මාලිංග වැනි පන්දු යවන්නෙකුද ශ්‍රී ලංකා පන්දු යවන බලඇණියේ සිටියදීයි.

සිදුවී ඇත්තේ කුමක්ද? මාලිංග තවමත් දක්ෂතා අතරද? මාලිංග කියන ආකාරයට නම් තමන්ගේ දක්ෂතාවයක් නොදකින්නේ නම් තමන්ව කණ්ඩායමෙන් නෙරපිය යුතුය. එහෙත් පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අසරණ බවයි. ඔහු අරඹයා ගත යුතු තීරණය ඔවුන් නොදන්නා බවයි. මාලිංගගේ අවසන් එක්දින තරග 6 තුළ ඔහු දැක්වූ දස්කම් වෙත මඳක් අවධානය යොමුකරමු.

(වඩාත් ආසන්න තරගය තෙක් පහතට)

6. පන්දු ඕවර 10, ලකුණු 70, කඩුලු 2 – ඉන්දියාවට එරෙහිව ඕවල්හිදී (ශ්‍රී ලංකාවට ජය)

5. පන්දු ඕවර 9.5, ලකුණු 52, කඩුලු 1 – පාකිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී (පාකිස්තානයට ජය)

4. පන්දු ඕවර 9, ලකුණු 51, කඩුලු 1 – සිම්බාබ්වේට එරෙහිව ගාල්ලේදී (සිම්බාබ්වේට ජය)

3. පන්දු ඕවර 3, ලකුණු 17, කඩුලු 1 – සිම්බාබ්වේට එරෙහිව ගාල්ලේදී (ශ්‍රී ලංකාවට ජය)

2. පන්දු ඕවර 9, ලකුණු 71, කඩුලු 1 – සිම්බාබ්වේට එරෙහිව හම්බන්තොටදී (ශ්‍රී ලංකාවට ජය)

1. පන්දු ඕවර 4, ලකුණු 18, කඩුලු 0 – සිම්බාබ්වේට එරෙහිව හම්බන්තොටදී (සිම්බාබ්වේට ජය)

ඉහත දත්තයන් දෙස හොඳින් බලන්න. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමේදී “මාලිංග නම් සාධකය” බලපා ඇති ආකාරය එතරම් සතුටුදායක නැත. එමෙන්ම අප දන්නා මාලිංග ඒ කිසිදු තරගයක සිට නැති අයුරක් පෙනෙයි. සමස්තයක් ලෙස පන්දු ඕවර 44.5කදී මාලිංගට කළහැකිව ඇත්තේ ලකුණු 279ක් ලබාදී කඩුලු 6ක් දවාගැනීම පමණකි.

එහෙත් අපට අතීතය හොඳින් මතක ය. 2014 විස්සයි – විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මහේන්ද්‍ර සිං දෝනි සහ විරාත් කෝලි නම් ප්‍රබල පිතිකරුවන් දෙදෙනා දමනය කිරීම සඳහා මාලිංගගෙන් කෙතරම් සේවයක් වුණිද, 2007 ලෝක කුසලාන අවසන් මහා තරගය තෙක් ශ්‍රී ලංකාව කැඳවාගෙන එන්නට මාලිංග කෙතරම් සේවයක් ඉටුකළේද යන මේ සියල්ල අපට මතක ය.

එහෙත් ඇත්ත ඉදිරියේ සිටගන්නට කාලය එළඹ ඇත. මාලිංගගේ වර්තමාන වාර්තාව ඔහුගේ වචන මෙන් දරුණු නැත. එක්කෝ මාලිංගට නිසි මඟපෙන්වීමක්, විවේකයක් හෝ යම් සහයක් අවශ්‍ය ය. නැත්නම් මාලිංග වෙනුවට ආදේශකයක් නිර්මාණය කිරීමට කාලය එළඹ ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ පිළිබඳව විමසිලිමත්ද?

ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි. ක්‍රීඩකයන්ගේ දස්කම්ද එලෙසින්ම අවිනිශ්චිත ය. සමහරක් විට මාලිංග මීළඟ තරගයේදී කඩුලු 5ක් දවාගෙන සුපුරුදු “සිංහ  සැමරුම” පානු අපට දැකගැනීමට හැකිවනු ඇත. සියල්ල තීරණය කරන්නේ කාලය යි. කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතකාමය රමණය කරමින්ම සතුටුවිය නොහැකි අප කල්පනා කළයුත්තේ මාලිංග ඉවත් වූවොත් ඒ හිඩැස පිරවීමට නව්‍ය ජවය අප සතුව ඇතිද යන්න යි. ශ්‍රී ලංකාව අවාසනාවන්ත නැත. මෙරට තුළ   සෑමවිටකම දක්ෂයන් බිහිවෙයි. එහෙත් දූරදර්ශී පාලකයන් සහ කළමනාකරුවන් ලැබීම නම් ශ්‍රී ලංකාවට පහසු වී නැත.

මාලිංග නම් කටකාරයාට වඩා ක්‍රිකට්ලෝලී අප පෙම්කරන්නේ මාලිංග නම් වැඩකාරයාට ය. යළිත් බහුතර ජනප්‍රියත්වය දිනාගන්නට නම් අත්දැකීමෙන් සපිරි මාලිංග කළ යුතු දේ ඔහු හොඳින් දනියි. ඔහු සාර්ථක වෙයිද? කඩුලු සුනුවිසුණු කරන යෝකර් පන්දු, පිතිකරුවන් දණ නමන බවුන්සර් පන්දු ඔහුගෙන් යළි ප්‍රදර්ශනය වෙයිද? සියල්ල කාලයට භාරයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට