ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

3453

2019 වසර ආරම්භයත් සමඟ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර හෙවත් එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පළපුරුදු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව නම් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව අද (14) පියවර ගෙන තිබේ.

නම් කරන ලද කණ්ඩායම් සඳහා වන අනුමැතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දීම ද කැපී පෙනේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුත් වෙනස් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන්….

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ජනාධිපතිවරයකු විසින් කණ්ඩායමකට අනුමැතිය ලබා දුන් පළමු අවස්ථාව වශයෙන් සනිටුහන් වූ මේ අවස්ථාවේ දී එංගලන්ත කණ්ඩායම සමඟ වූ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව මෙහෙයවන ලද දිනේෂ් චන්දිමාල් මෙන්ම විස්සයි විස්ස අංශයේ නායකත්වය දැරූ තිසර පෙරේරා ද ඇතුළත්ව සිටිය ද, මාලිංගගේ සහායකයා හෙවත් උපනායකයා ලෙසින් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලව පත් කිරීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන වැඩපිළිවෙළෙහි තවත් තීරණාත්මක තීන්දුවක් ලෙසින් කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිත් මාලිංගව පත් කර තිබෙන අතර එය නවසීලන්ත තරගාවලියට පමණක් නොව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම වලංගු වන බව ThePapare.com වෙබ් අඩවියට අදහස් දක්වා සිටි වත්මන් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අවධාරණය කර සිටියේය.

කමිඳු මෙන්ඩිස් කර මතින් ලංකාව අවසන් සටනට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නැගී එන ….

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මෙල් මහතා, “මේ වෙලාවේ නායකත්වයට පත් කිරීම සඳහා ඉන්න හොඳම කෙනා තමයි මාලිංග. අපි මාලිංගව නායකත්වයට පත් කළේ නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට විතරක් නොවෙයි. ඊළඟ ලෝක කුසලාන තරගාවලිය දක්වාම. ඒ අනුව ඔහු එළඹෙන ලෝක කුසලාන තරගාවලියෙදිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා” යැයි පැවසූ ඒ මහතා, “මම අවසන් වතාවට තේරීම් කමිටුවේ කටයුතු කරන කොටත් මාලිංගට උපනායක තනතුර ලබා දුන්නා. අපි එහෙම කළේ නායකයකුගේ ලක්ෂණ ඔහු තුළ තිබුණ නිසා. ඒත් අපි තේරීම් කමිටුවෙන් ගියත් එක්කම එයාව ඒ තනතුරින් අයින් කළා. මම දන්නේ නෑ මොන හේතුවකට එහෙම කළා ද කියලා” යැයි පැවැසීය.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට, ශාරීරික යෝග්‍යතා ප්‍රශ්නයක් මත එංගලන්ත සංචාරය මග හැරුණු ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම, ආබාධයකට ගොදුරුව සිටි අසේල ගුණරත්නව ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

එංගලන්තය සමඟ එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද අමිල අපෝන්සු, සදීර සමරවික්‍රම සහ උපුල් තරංගට සිය ස්ථාන අහිමි වී තිබෙන අතර, ධනුෂ්ක ගුණතිලක,  කුසල් මෙන්ඩිස් සහ ළහිරු කුමාරව කැඳවා තිබේ. පන්දු යැවීමේ ඉරියව්වෙහි නිවැරදි භාවය ඔප්පු කර ගත නොහැකිවූ අකිල ධනංජයගේ ස්ථානයට, සීකුගේ ප්‍රසන්නව කැඳවා තිබේ.

සීතල දෙසැම්බරය ප්‍රථමයෙන් උණුසුම් කරන්නේ කවුරුන් ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම….

ඉකුත් 2014 වසරේ දී බංග්ලාදේශයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද මාලිංග මීට මාස තුනකට පෙර කණ්ඩායමට කැඳවන ලද්දේ වසරකට වැඩි කාලයක් කණ්ඩායමෙන් ඉවත් කර තිබිය දී ය. එවන් තත්ත්වයක් යටතේ ඔහුට නායකත්වය ලබා දීම කැපී පෙනෙයි.

“කණ්ඩායම සමතුලිත කරාම කණ්ඩායමේ ස්ථානයක් තියෙන කෙනෙක් තමයි නායකයා විදියට කටයුතු කරන්න ඕන. කණ්ඩායමට අවශ්‍ය පිතිකරුවන් නම් කරන කොට මාලිංගට කණ්ඩායමේ අවස්ථාවක් තියෙනවා. මැතිව්ස් නායකත්වය දරන්නේ නෑ. චන්දිමාල් හිටියත්, ක්‍රීඩා කරන 11 දෙනා තුළට එයා ඇතුළත් වේවි ද කියන එක විශ්වාසයක් තියෙන්නත් ඕන. නිකන් හරි නායකත්වයට පත් කළොත් එයාව අයින් කරන්න බැහැ. අපි බැලුවේ ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට ගේන්න වැඩක් කරන්න. ඒකට සුදුසුම කෙනා තමයි මාලිංග” යැයි පවසන තේරීම් කමිටු සභාපතිවරයා, පාසල් අවධියේ මෙන්ම දිස්ත්‍රික් මට්ටමේ දී නායකයකු තුළ වූ ලක්ෂණ විදහා පෑම නිසා නායකත්වයට හුරු කරලීම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ලට උප නායකත්වය ලබා දීමට තීරණය වූ බව ද මෙල් මහතා සඳහන් කර සිටියේය.

නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පතිරණ, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රජිත, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

අවසන් තරගාවලියට ක්‍රීඩා කොට ඉවතට ගිය ක්‍රීඩකයින් – අකිල ධනංජය, අමිල අපෝන්සෝ, සදීර සමරවික්‍රම, උපුල් තරංග

ඇතුළට පැමිණි ක්‍රීඩකයින් – ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, ළහිරු කුමාර.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<