තරිඳු කෞෂාල්ගෙන් කඩුලු 7ක්; භානුකගෙන් ප්‍රවේගකාරී ශතකයක්!

1338

ජාතික කණ්ඩායමේ දොරටුව අසල සිටින ක්‍රීඩකයින් කරට කර සටන් වදින අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate) වටයේ තරග 3ක් අද (20) දිනයේ නිමාවට පත්විය. ඒ ජය පැරදුමකින් තොරවයි. එහි දී මුවර්ස් කණ්ඩායම නියෝජනය කරන දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් BRC කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක් බිඳ දමමින් දස්කම් දැක්වීමට සමත් විය.

කලක් ජාතික කණ්ඩායමට ද ඉමහත් සේවයක් ඉටු කළ කෞෂාල්ට 2015 වසරේ දී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ප්‍රකාශ කරමින් ICCය විසින් සීමා පැනවූවද ඔහු නැවතත් දක්ෂතා අතරට පැමිණීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ නොමද සතුටට හේතු වනු ඇත.

භානුක හා සවීන් මුවර්ස් අභිබවා බී. ආර්. සී ඉදිරියට ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 2018/19 අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් …

මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

තැලෙන යකඩය උඩ පනිමින් තලන්නා සේ හොඳින් ලකුණු ඇති කටුනායක නිදහස් කලාප ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ අණසක පැතිරවීමට දෙපිළේම පිතිකරුවෝ සමත් වූහ. ඒ හේතුවෙන්ම මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි. පන්දු යවන්නන්ට බියකරු සිහිනයක් බඳු වූ මෙම තරගයේ දින තුනකට පසුවත් බිඳ වැටී තිබුණේ කඩුලු 17ක් පමණි. කෙසේ වෙතත් කාසියේ වාසිය දිනා ගත් රාගම ක්‍රිකට් සමාජය මෙම තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව මීගමුව පිළට පැවරුවේ කුමන හේතුවක් නිසා ද යන්න බොහෝ දෙනෙකුට පැහැදිලි නොවීය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මීගමුව ක්‍රිකට් සමාජය සිය ප්‍රථම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 474ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් වූහ. විශිෂ්ට පිති හරඹයක නිතර වූ ලසිත් කෘස්පුල්ලේ හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 157යි. ඔහුගේ දීර්ඝ ඉනිමට පන්දු 205ක් වැය විය. ඔහු සමඟ ලකුණු 106ක සබඳතාවයකට මුල පිරූ ප්‍රසන්න ජයමාන්න ලකුණු 122යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී පා දඟ පන්දු යවන ක්‍රීඩක සංජය චතුරංග කඩුලු 4කට හිමිකම් කීවේය.

අද තරගය නිමා වන විටත් ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාගම සමාජය රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 397කි. ඒ කඩුලු 8කටයි. පන්දු යවන්නට සහයක් නොදක්වන තණ තීරුවක දී වුවද තම උපරිමය කණ්ඩායමට ලබා දුන් සංජය චතුරංග, මෙහි දී පිත්තෙන් ද සාර්ථක වෙමින් නොදැවී ලකුණු 112ක් රැස්කර ගන්නට ද සමත් විය. ඒ හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟයි. පන්දු යැවීමේ දී රොෂේන් ප්‍රනාන්දු කඩුලු 4ක් ද උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 3ක් ද බිඳ හෙලූහ.

මීගමුව ක්‍රිකට් සමාජය (පළමු ඉනිම): කඩුලු 9ක් දැවී ලකුණු 474 (පන්දුවාර 130.2)

ලසිත් කෘස්පුල්ලේ 157, ප්‍රසන්න ජයමාන්න 122*, අශේන් සිල්වා 46, ඩිලාන් ජයලත් 44, සංජය චතුරංග 4/38.

රාගම ක්‍රිකට් සමාජය (පළමු ඉනිම): කඩුලු 8ක් දැවී ලකුණු 397 (පන්දුවාර 138)

සංජය චතුරංග 112*, සුපේෂල ජයතිලක 90, දිනෙත් තිමෝද්‍ය 72, සමින්ද ප්‍රනාන්දු 51, රොෂේන් ප්‍රනාන්දු 4/69, උපුල් ඉන්ද්‍රසිරි 3/105.

ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි

ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නට නියමිත ශ්‍රී ලංකා …

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය දෙපිළේම ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැනවින් කැපී පෙනුණු තරගයක් බවට පත්විය. කෙසේ වෙතත් අද සන්ධ්‍යාවේ දී ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය BRC කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 61ක් ලබා සිටිය දී තරගය අත්හිටුවන්නට විනිසුරුවරුන් තීරණය කළ නිසා තරගය අවසන් වූයේ ජය පරාජයකින් තොරවයි.

කාසියේ වාසිය දිනා ගත් BRC ඇරයුමෙන් පිතිකරණ සඳහා පිවිසි මුවර්ස් කණ්ඩායම ලකුණු 321ක් ලබාගත් අතර ඒ වෙනුවෙන් චාමර සිල්වා ලකුණු 81කින් දායක විය. පන්දු 69ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිම හතරේ පහර 12කින් සහ එක් හයේ පහරකින් අලංකෘත විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ BRC කණ්ඩායම ලකුණු 430ක් රැස් කළ අතර ඒ වෙනුවෙන් භානුක රාජපක්ෂ ප්‍රවේගකාරී ලකුණු 108ක් වාර්තා කිරීමට සමත් විය. ඒ පන්දු පන්දු 99කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ දැවැන්ත හයේ පහර 6ක් එල්ල කරමිනි. පන්දු යැවීමේ දී කලක් ජාතික කණ්ඩායමේ දඟ පන්දු වගකීම දැරූ තරිඳු කෞෂාල් කඩුලු 6ක් බිඳ දැමීමට සමත් විය. මුවර්ස් කණ්ඩායමේ දෙවැනි ඉනිම අතරතුරේ දී ඉරෝෂ් සමරසූරිය ලකුණු 87ක් රැස් කරගත් අතර චාමර සිල්වා තවත් අර්ධ ශතකයක් තම පළමු පෙළ වාර්තා අතරට එක්කර ගත්තේය.

මුවර්ස් ක්‍රීඩා සමාජ (පළමු ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 321 (පන්දුවාර 75.5)

පබසර වඩුගේ 68, චරිත කුමාරසිංහ 21, චාමර සිල්වා 81, ලහිරු අත්තනායක 45, අනුක් ප්‍රනාන්දු 53, මොහොමඩ් ෂිරාස් 2/85, දුවිඳු තිලකරත්න 3/41, ටී. එන්. සම්පත් 3/93.

බී. ආර්. සී. (පළමු ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 430 (පන්දුවාර 93.4)

භානුක රාජපක්ෂ 108, සවීන් ගුණසේකර 93, දුවිඳු තිලකරත්න 53, රුමේෂ් බුද්ධික 37, විකුම් සංජය 37, තරිඳු කෞශාල් 6/127, රමේෂ් මෙන්ඩිස් 3/85.

මුවර්ස් ක්‍රීඩා සමාජ (දෙවන ඉනිම): කඩුලු 8ක් දැවී ලකුණු 288 (පන්දුවාර 80)

ඉරෝෂ් සමරසූරිය 87, රමේෂ් මෙන්ඩිස් 68*, චාමර සිල්වා 52, පබසර වඩුගේ 51, කේෂාන් විජේරත්න 14*, මොහොමඩ් ශිරාස් 3/63, දුවිඳු තිලකරත්න 3/119.

බී. ආර්. සී (දෙවැනි ඉනිම): කඩුලු 4ක් දැවී ලකුණු 61 (පන්දුවාර 11)

රුමේෂ් බුද්ධික 25, ටී. එම්. සම්පත් 12, රමේෂ් මෙන්ඩිස් 2/21.

නුවන් ප්‍රදීප්ට රතු එළියක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (19) නිමා වූ තෙදින දිවා…

බදුරලිය ක්‍රිකට් සමාජය සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ ශතක 4ක් වාර්තා විය. ඉන් 3ක්ම වරාය අධිකාරියේ ආරාධනයෙන් පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩා සමාජය තමන් සතුකර ගත්තේය. දෙනුවන් රාජකරුණා හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 117යි.

කෝසල කුලසේකරගේ නොදැවුණු ලකුණු 108ට හතරේ පහර 16ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. මීට අමතරව සාලින්ද උශාන් ආරම්භක පිතිකරුවා ලෙස තවත් ශතකයක් වාර්තා කළේය. ඔවුන්ගේ දායකත්වය නිසා තම ප්‍රථම ඉනිම ලකුණු 473ක් දක්වා ඉහළ ඔසවන්නට බදුරලිය ක්‍රිකට් සමාජයට හැකි විය. කලක් සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම ගිය ක්‍රීඩකයෙකු වන ටටෙන්ඩා ටයිබු ද ලකුණු 45ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.

Photo Album : SLPA SC v Badureliya CC – Major Plate Tournament 2018/19

ඉන් අනතුරුව පිටියට පිවිසුණු වරාය අධිකාරි කණ්ඩායම ද සාර්ථක පිතිකරණයක නිරත වෙමින් ලකුණු 348ක් වාර්තා කර ගන්නට සමත් වූහ. ඒ වෙනුවෙන් පදනම සැකසූ මැදපෙළ පිතිකරු අදීශ නානායක්කාර ලකුණු 101යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී බදුරලිය කණ්ඩායම වෙනුවෙන් දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක අලංකාර අසංක කඩුලු 6ක් බිඳ හෙලමින් විශිෂ්ට දස්කම් දැක්වීය. තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩකයින් තරගය නිමා වෙද්දී කඩුලු 7කට ලකුණු 284යි. එහි දී තම දෙවැනි ශතකය ලබා ගැනීමට උත්සාහ දැරූ සාලින්ද උශාන් ලකුණු 91ක් ලබා සිටිය දී දවා ගැනීමට අනුක් ද අල්විස් සමත් විය.

බදුරලිය ක්‍රිකට් සමාජ (පළමු ඉනිම): කඩුලු 9ක් දැවී ලකුණු 473 (පන්දුවාර 119)

දෙනුවන් රාජකරුණා 117, කෝසල කුලසේකර 108*, සාලින්ද උෂාන් 103, ටටෙන්ඩා ටයිබු 45, ඉමේෂ් උදයංග 5/125.

වරාය අධිකාරි ක්‍රිකට් සමාජ (පළමු ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 348 (පන්දුවාර 95.3)

අදීශ නානායක්කාර 101, ඉමේෂ් උදයංග 66, ගිහාන් රූපසිංහ 41, අලංකාර අසංක 6/83, බුද්ධික සංජීව 2/90.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම): කඩුලු 7ක් දැවී ලකුණු 284 (පන්දුවාර 51)

සාලින්ද උශාන් 91, ලහිරු සමරකෝන් 51*, දෙනුවන් රාජකරුණා 41, චානක කොමසාරු 3/81, චමින්ද බණ්ඩාර 2/77.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<