දවසේ වීරයා විශ්ව චතුරංග

366

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major League B ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (10) ආරම්භ වූ අතර එම තරග දෙක අතරින් විශ්ව චතුරංග දවසේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් විය.

ඊට අමත‍ෙව තරුෂාන් ඉද්දමල්ගොඩ සහ දමිත් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ අතර පන්දු යැවීමේ දී එච්. ජී. කේ. ඩිල්ෂාන් දවසේ වැඩිම දක්ෂතා දැක්වූ පන්දු යවන්නා බවට පත්විය.

සී. සී. සී. ශූරතාවය ඩැහැගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය හෙවත් සී. සී. සී. කණ්ඩායම…

කුරුණෑගල යූත් සහ ලංකන් අතර තරගය

කුරූණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ලංකන් ක්‍රිකට් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට තම පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 274ක් ලබා සිටිය හ.

එම  ඉනිම වෙනුවෙන් දමිත් පෙරේරා පන්දු 135කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව රසාංජන ජයරත්න ලකුණු 49ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේය.

කුරුණෑගල යූත් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ධර්මසිරි (46) සහ ලහිරු ජයරත්න (38) ද ලකුණු අතරට පිවිසිය හ. දවස අවසන් වෙන විට සරින්ද දිසානායක නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී දඟ පන්දු යවන දුලංජන මෙන්ඩිස් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් සිටියේ ය.

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 274 (90) රසාංජන ජයරත්න 49, ධනුෂ්ක ධර්මසිරි 46, දමිත් පෙරේරා 67, ශාලික කරුණානායක 22, සරින්ද දිසානායක නොදැවී 33, ලහිරු ජයරත්න 38, අයන්ත ද සිල්වා 2/83, දුලංජන මෙන්ඩිස් 3/35, අයන්ත ද සිල්වා 2/83

කනිෂ්ක මදුවන්ත පන්දු යැවීමෙන් සුපිරි දස්කම් දක්වයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (9) සාර්ථකව නිමා විය. සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…..

පානදුර සහ නාවික හමුදාව අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නාවික හමුදා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 193ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් සත්කාරක නාවික හමුදා ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 152ක් ලබා සිටිය හ.

පානදුර ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු විශ්ව චතුරංග පන්දු 112කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව නවීන් කවිකාර පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය. ඔහු අවසන් කඩුල්ල වෙනුවෙන් අමිත කෞෂල්‍ය (8) සමඟ එක්වෙමින් ලකුණු 40ක සබඳතාවක් ගොඩ නොනගන්නට පානදුර ඉනිම මීටත් වඩා දුප්පත් වීමට ඉඩ තිබුණි. පානදුර ඉනිමේ ක්‍රීඩකයන් 7 දෙනෙක්ම ලකුණු 10කට අඩුවෙන් දැවී ගිය හ.

කඩුලු ලබා ගැනීමේ දී එච්. ජී. කේ. ඩිල්ෂාන් ලකුණු 64කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී තරුෂාන් ඉද්දමල්ගොඩ පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟීන් නොදැවී ලකුණු 64ක් ලබා සිටියේ ය. ඔහුට අමතරව ආරම්භක පිතිකරු රෙවන් කෙලී පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී අමිත කෞෂල්‍ය කඩුලු 3ක් දවා ගත්තේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (51.1) විශ්ව චතුරංග 77, නවීන් කවිකාර 36, එච්. ඩී. කේ. ඩිල්ෂාන් 4/64, දුෂාන් හේමන්ත 3/56

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 152 (38) රෙවන් කෙලි 48, තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 64, අමිත කෞෂල්‍ය 3/24

මෙම තරග දෙක හෙට (11) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<