2019 වසර අවසානයේ පැවැත්වෙන දැවැන්ත ක්‍රීඩා සැණකෙළිය වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (01) නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. 

වසර 15කට පසු SAG ලංකාවට?

2021 වසරේ පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම…

ක්‍රීඩා ඉසව් 28ක් නියෝජනය කරමින් 10,000 අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පුරා දින 10ක් මුළුල්ලේ දසරත් ක්‍රීඩාංගණයේ දී සහ පොකාරා ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

සවස 4.30ට පමණ තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ නේපාලයේ ජනාධිපතිනිය වන බිඩ්ද්‍යා දේවි බණ්ඩාරි මහත්මියගේ ප්‍රධානත්වයෙනි. 

තරගාවලියේ ගිනිසිළුව දැල්වීමෙන් අනතුරුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිල වශයෙන් ඇරඹි අතර සමාරම්භක උළෙල නැටුම්, ගැයුම්, විවිධ සංකෘතික අංගවලින් සහ මල්වෙඩි සංදර්ශනයකින් වර්ණවත් වී තිබුණි. 

නේපාල ජනාධිපතිනි බිඩ්ද්‍යා බණ්ඩාරි, දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ජීවන් රාම් ශ්රෙස්තා, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විධායක කමිටු සභාපති රමේෂ් සිල්වාල්, ප්‍රධාන සංවිධායක කමිටු සභාපති සහ යෞවන සහ ක්‍රීඩා අමාත්‍ය ජගත් බහදූර් බිෂ්වකර්ම සහ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොකාරෙල් යන සම්භාවනීය අමුත්තන් මෙම සමාරම්භ උළෙල සඳහා එක්විය.

ක්‍රීඩාවන් 27ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසක් මෙවර ශ්‍රී ලංකාවෙන් SAG සඳහා සහභාගී වී සිටින අතර සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ හෙල්ල විසිකිරීමේ ශූරිය වන නදීකා ලක්මාලි විසිනි. 

කෙසේ නමුත් ඉන්දියාවේ සිට ප්‍රවාහය වන මීදුම් සහිත අයහපත් කාලගුණය නේපාලයට දැඩි ලෙස බාධා කරන අතර ක්‍රීාඩ අධ්‍යක්ෂ ධම්මික මුතුගල මහතා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පවසා සිටියේ මුහුණු ආවරණය කර ගනිමින් කටයුතු කිරීමට අවැසි බවයි.

කෙසේ නමුත් ඔහු විසින් ThePapare.com වෙත ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංචිතය පිළිබඳව විශාල බලාපොරොත්තු රැසක් ඇති බවත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවෙන් රන් පදක්කම් 35ක් පමණ අපේක්ෂා කරන බවයි. 

කෙසේ නමුත් තරගාවලිය දින කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ නායිකාව වන නිමාලි ලියනාරච්චි අවාසනාවන්ත ලෙස රිය අනතුරකට මුහුණ දුන් නිසාවෙන් තරගාවලිය සඳහා සහභාගී නොවීම ද කනගාටුවට කරුණකි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලුම තරග වාර්තා, පුවත්, ඡායාරූප, වීඩියෝ සහ තවත් බොහෝ දෑ, ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com හරහා ඔබ වෙත රැගෙන ඒමට නියමිතයි, රැඳී සිටින්න අප සමඟින්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<