කවික ඩිල්ශාන්ගෙන් විශිෂ්ට දස්කම්

59

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් අදියරේ තරගයක් අද (1) ආරම්භ විය. 

කෝල්ට්ස් හා ගුවන් හමුදාව නැගී එන ක්‍රිකට් පිටිය අලංකාරවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club….

වැලිසර නාවික හමුදා ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ බී. ආර්. සී හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර A කාණ්ඩයේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාවික හමුදා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබාගෙන සිටියේ බී. ආර්. සී පළමු ඉනිමට වඩා ලකුණු 41ක් ඉදිරියෙන් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බී. ආර්. සී  කණ්ඩායමට ආරාධනා කළේය. එහි දී ඔවුන්ගේ කණ්ඩායමේ පිතිකරුවන් එකපෙළට දැවී යන විට ඔවුන්ගේ ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ සීතාවක මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි දකුණතින් පිතිකරණයේ නිරත වන කලන මදුසංක ලබා ගත් ලකුණු 42 නිසා බී. ආර්. සී කණ්ඩායමේ ලකුණු සටහන ලකුණු 102ක් දක්වා පැමිණියේය. 

මදුසංක වෙත සහය ලබා දුන් නිමන්ත ගුණසිරි ලකුණු 23ක් ලබාගෙන සිටිය දී වමතින් දඟපන්දු යවන කවික ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

අවසානයේ බී. ආර්. සී ඉනිම පන්දුවාර 39කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 102කට සීමා කිරීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. නාවික හමුදා කණ්ඩායම් වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් කවික ඩිල්ෂාන් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

නාවිකා හමුදා කණ්ඩායමේ පිතිකරුවන් පවා දුවිඳු තිලකරත්න ඇතුළු පන්දු යවන්නන් හමුවේ තරමක් අසාර්ථක වුවත් සවිඳු පීරිස් දියත් කළ ඉවසිලිවන්ත සහ සටන්කාමි පිතිකරණය නිසා තරගයේ පළමු දිනය තුලම සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකිවිණි.

බී. ආර්. සී – 102 (39.3): කලන මදුසංක 42, නිමන්ත ගුණසිරි 23, කවික ඩිල්ෂාන් 5/36.

නාවික හමුදා ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) –  143/9 (45): සවිඳු පීරිස් 51, ශාලිත් ප්‍රනාන්දු 40, දිනාල් ඉශේන් 24, දුවිඳු තිලකරත්න 4/28, නිමත ගුණසිරි 2/20, කෙවින් කොත්තොගොඩ 2/23.

මේ තරගය හෙට (2) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<