“ක්‍රීඩකයන් 4 දෙනෙක්ම මාරු කළා. මේක ඉතාම සැක සහිත කාරණයක්” – 2011 හිටපු ක්‍රීඩා ඇමති

4875
Mahindananda speaks out

ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාවට වේදනාත්මක අත්දැකීමක් ගෙන එමින් අවසන් වූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් වසර 6කට පසුව ඒ පිළිබඳ යළි කතාබහක් ඇරඹුණේ හිටපු නායක අර්ජුන රණතුංග විසින් නගන ලද ප්‍රශ්නයකට අනුවයි. එහි අලුත්ම කොටස්කරුවා වන්නේ එවකට (2011) ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ය.

2011දී ඉන්දියාව හමුවේ පරාජය වීම සැකයට බඳුන් කළ අර්ජුන පවසා තිබුණේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ය. ඉන් අනතුරුව ක්‍රිකට්ලෝලීන්ගේ සිත් තුළ යම් කුකුසක් පැනනැගුණු අතර එවකට ශ්‍රී ලංකාවේ අංක 3 පිතිකරු කුමාර් සංගක්කාර BBC සිංහල මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ඒ පිළිබඳ පිළිතුරු දීමක් අවශ්‍ය නම් එය තමන්ට කළ හැකි බවයි.

“IPL යනකොට බෝම්බයක් ගියත් ඒවා මේ ක්‍රීඩකයින්ට පේන්නේ නැහැ” – අර්ජුනගෙන් සංගාට පිළිතුරු

2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි කුමාර් සංගක්කාර විසින් …

මේ කතාබහට අලුතින්ම අඩුම-කුඩුම එක්කරමින් එවකට (2011) ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යධූරය හෙබවූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් නිසා ක්‍රීඩාලෝලීන්ගේ සැකය යළි අලුත් විය.

“මේ තරගාවලියේ අවසාන තරගය දක්වා ශ්‍රී ලංකාව ඉතාම හොඳින් ක්‍රීඩා කළා. සියලු දෙනා බලාපොරොත්තු වුනේ මේ ලෝක කුසලානය අපට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවසානෙදි යම් සැක කටයුතු අවස්ථාවන් කිහිපයක් සිදුවුණා.” හිටපු අමාත්‍යවරයා නෙත් ගුවන් විදුලිය සමඟින් පවසා තිබුණි.

“පළවෙනි දේ තමයි ලෝක කුසලාන අවසන් මහා තරගෙකදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනස් කළා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් වෙනස් කරද්දී තේරීම් කමිටුවට දැනුම් දෙන්න ඕනේ, ක්‍රීඩා ඇමතිවරයා අනුමත කරන්න ඕනේ. ඒ කිසිවක් නැතුව, ක්‍රිකට් පාලක මණ්ඩලය දන්නෙත් නැතුව අවසාන මොහොතේ ක්‍රීඩකයන් 4 දෙනෙක්ම මාරු කළා. මේක ඉතාම සැක සහිත කාරණයක්.” හිටපු අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමේදී එසේ කියැවිණි.

ක්‍රීඩක ආදේශනයන් පිළිබඳ පසුගියදා BBC සිංහල මාධ්‍යවේදියෙකු හමුවේදී පිළිතුරු දුන් කුමාර් සංගක්කාර පවසා තිබුණේ ආබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ සම්පූර්ණ යෝග්‍යතාවයෙන් නොසිටි මුත්තයියා මුරලිදරන්ව ආවරණය කිරීම සඳහා කණ්ඩායම විසින් කතාබහ කොට එම තීරණය ගත් බවයි.

“2011 පිළිබඳ ඕනෙම වෙලාවක උත්තර දෙන්න පුළුවන්” – සංගක්කාර BBC හමුවේ කියයි

ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා වමත් පිතිකරු කුමාර් සංගක්කාර අද (14) එංගලන්තයේ BBC සිංහල මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමකට එක්ව සිටියේය.

කෙසේ නමුත් හිටපු අමාත්‍යවරයා තවදුරටත් සැකය පැහැදිලි කළේ මේ ආකාරයෙනි.

“දෙවැනි එක තමයි ක්‍රීඩකයන්ගේ කාමරේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සිගරට් හතලිස්ගානක් බීලා තිබුණයි කියලා කළමනාකරුවෙක් වාර්තාවක් දීලා තිබුණා. ඒ වගේම තරගාවලිය තුළදී යම් වෙනස්කිරීම් කරන්න කිව්වහම ඒවා නොකරපු අවස්ථාත් තිබුණා.” හිටපු අමාත්‍යවරයා දැන් හෙළිකරන මෙවන් කාරණා එකල හෙළි නොකළේ ඇයි දැයි ගැටලුවක්ද මතුවන නමුත් මෙය එසේ මෙසේ චෝදනාවක් නොව අතිශය බරපතල ප්‍රකාශයකි.

එවකට මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් නොකළේ මන්දැයි නෙත් මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

“මම ඒ වෙලාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දුන්නා වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. පරීක්ෂණ ආරම්භ කළා. ඒත් ඒක එතනින් එහාට ගියේ නෑ. ලොකු සැකයක් තියෙනවා ක්‍රීඩකයන් අවසාන මොහොතේ මාරු කිරීම සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හැසිරෙන ස්ථාවරයෙන් බැහැරව හැසිරීම වැනි කාරණා කිහිපයක් පිළිබඳව. මේකට හේතුව මොකද්ද කියලා මට කියන්න බැහැ නිසි පරීක්ෂණයකින් තොරව.”

කෙසේවෙතත් එවන් ගැටලු පැනනැගී තිබුණේ නම් ඒවා ප්‍රකාශ කිරීමට මෙතරම් කාලයක් ගතකර ඇති බැවින් දැන් ඒ කිසිවකින් ඵලක් නැත. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමකි. දැනට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අපහසු තරගාවලියක නිරත වන අතරම ඊටත් අපහසු විය හැකි එළඹෙන ඉන්දියානු කණ්ඩායමට එරෙහි තරගාවලිය වෙනුවෙන්ද ඔවුනට ශක්තියක් විය හැකි යමක් පවසනු විනා, ශ්‍රී ලංකා ක්‍රිකට්වල ගෞරවය පහතට හෙලන වාද විවාද දැන් අපට අවශ්‍ය නැත. එබැවින් වාද විවාද පසෙකලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යා හැකි ධනාත්මක අදහස් ප්‍රවීණයන්ගෙන් සහ බලධාරීන්ගෙන් ප්‍රකට වනු දැකීම ThePapare.com අපගේ බලාපොරොත්තුවයි.”

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට