2006 වර්ෂය ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට සදා නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ වර්ෂයක් ලෙස හැදින්විය හැක. ඒ අතර එංගලන්තයේදීම එංගලන්ත කණ්ඩායම 5-0ක් ලෙස එක් දින තරගාවලිය පරාජය කිරීම, දකුණු අප්‍රිකානු කණ්ඩායම අප මව්බිමේ දී ටෙස්ට් තරගාවලිය පරාජය වීම ප්‍රමුඛ තැනක් ගනී. මේ සියල්ලම පිටුපස මහේල ජයවර්ධන නම් සුපිරි ක්‍රීඩකයා සිටීම සුවිශේෂී වේ.

මහේල ජයවර්ධන හෙවත් “මයියා” යන නාමයෙන් හඳුන්වන මේ විශිෂ්ටයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා ද වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 69 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන දකුණතින් පිත්ත හසුරුවන මහේල ජයවර්ධන, ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එකතු වෙමින් ලකුණු 374ක් 2006 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. එය ඔහුගේ මෙතෙක් වාර්තා වූ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසත්, ශ්‍රී ලංකාව වෙනුවෙන්  ඉනිමක දී ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තා වේ. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත විය.

දක්ෂතම ශ්‍රී ලාංකික පන්දු රකින්නන් 10 දෙනා කවුරුන් ද?

දකුණු ආසියාවේ වඩාත් නම්‍යශීලී සහ සුචල්‍ය (agile – පහසුවෙන් එහා මෙහා චලනය විය හැකි) ශරීර වලින් යුත් ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින රට ශ්‍රී ලංකාවයි…

1997 වර්ෂයේ දී ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ගන්නා මහේල ජයවර්ධනයන් ඔහුගේ පළමු තරගය ඉන්දියාව‍ට එරෙහිව ක්‍රීඩා කළ අතර  මංගල ටෙස්ට් තරගයේදීම ලකුණු 66ක් ලබා ගත්තේය. එම තරගය ‍ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ යළිත් වරක් ශ්‍රී ලාංකේය නාමය ඉහළින් ඔසවා තැබූ තරගයක් බවට පත්විය. ඉන්දියාව සමඟින් පැවති එම ටෙස්ට් තරගයේ දී කඩුලු 6කට ලකුණු 952ක වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එම තරගයේ දී සනත් ජයසූරිය හා රොෂාන් මහානාම එක්ව ලකුණු 576ක අඟනා සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර එම සම්බන්ධතාවය වාර්තා පොත් වල සටහන් වූයේ ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඒ තරගයේ දී සනත් ජයසූරිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 340ක්.

හිටපු නායක මාවන් අතපත්තු ආබාධයකට ලක් වීම හේතුවෙන් 2006 වසරේ එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මහේල ජයවර්ධන කණ්ඩායම මෙහෙයවු අතර එම ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. එමෙන්ම එංගලන්තය සමඟ පැවති එක් දින තරගාවලිය 5–0ක් ලෙස ජය ගත්තේ ද මහේල ජයවර්ධනයන්ගේ නායකත්වය යටතේදීය.

එවන් වූ ජයග්‍රාහී මානසිකත්වයක් සමඟින් මහේල ජයවර්ධනයන්ගේ නායකත්වය යටතේ 2006 වසරේ දී දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියක් කොළඹ දී ආරම්භ විය.

එංගලන්ත සංචාරය අතරතුර ආබාධයකට ලක්වූ චමින්ද වාස් එම තරගයට ක්‍රීඩා නොකළ අතර ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීම සඳහා ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු සහ ෆර්වීස් මහරුෆ් කැදවා තිබුණි. ප්‍රසන්න ජයවර්ධන කඩුලු රකින්නෙකු ලෙස තරගයට එක් කොට තිබුණි.

ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළුණ එම ඉතිහාසගත තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළේය.

Mahela Jayawardeneඒ අනුව පිටියට පිවිසි හර්ෂල් ගිබ්ස් හා ඇන්ඩෘෘ හෝල් එක්ව ආරක්ෂාකාරී ආරම්භයක් ලබා ගත්ත ද, එතෙක් ගොඩ නගා ගෙන ආ සම්බන්ධතාවය ලකුණු 32කට සීමා විය. AB ඩිවිලියර්ස් දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූ අතර එහි දී ඔහු ලකුණු 65ක් වාර්තා කළේය. ඒ හැරෙන්නට දකුණු අප්‍රිකානු කිසිදු ක්‍රීඩකයෙකු හට ලකුණු 30 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එදින ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිම තේ පානයට මොහොකට පෙර සියල්ලන් දැවී 169ක් ලෙස නිමා විය. එම තරගයේ සිය පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකින් දවා ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකිවිය.

4වන පන්දු වාරයේ 3 වන පන්දුවේ දී උපුල් තරංග දැවී යාමත් සමඟ කුමාර් සංගක්කාර සමඟින් ඉනිම ගොඩනැගීම සඳහා මහේල ජයවර්ධන එක්විය. ක්‍රමක්‍රමයෙන් ලකුණු එකතු කර ගනිමින් තරගය ඉදිරියට ඇදෙන විට පන්දුවාර 26ක් අවසානයේ ආලෝක තත්වයේ මදිකම නිසාවෙන් විනිසුරුවන් විසින් තරගය එදිනට නිමා කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා තවත් ලකුණු 41ක් පිටුපසින් සිටිමින් පළමු දිනය නිමා විය.

ඒ වන විට සංගක්කාර (59) හා ජයවර්ධන (55) අර්ධ ශතක වාර්තා කර තිබූ අතර සමස්ත ලකුණු සටහන 128ක් ලෙස දිස්විය.

Mahela Jayawardeneදෙවන දිනය ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පන්දු යවන්නට විශාල හිසරදයක් වූයේ තුන්වන කඩුල්ල සඳහා ශ්‍රී ලංකා පිල ගොඩනගා ගෙන තිබූ ලකුණු 114ක් සබඳතාවයයි. එක් අන්තයකින් මහේල ජයවර්ධන නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරන අතර  අනෙක් අන්තයේ සිට ඊට අනඟි සහයෝගයක් සංගක්කාර විසින් ලබා දුන්නේය.

පන්දු වාර 37ක් අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ මට්ටමක සිටි අතර දකුණු අප්‍රිකානු කණ්ඩාමට ඉතා ඉක්මනින් කඩුලු කිහිපයක් දවා ගැනීමේ අවශ්‍යතාව තදින් දැනුණ ද ඒ සඳහා අවස්ථාවක් ඔවුන් උදා නොවුණි.

44 වන පන්දු වාරයේ දී සිය 11 වන ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර සමත්වු අතර ඊට පන්දුවාර කිහිපයකට පසු ජයවර්ධන ද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වන ශතකය වාර්තා කළේය.

මෙම සුසංයෝගය ශ්‍රී ලංකාව වෙත ඉතා හොඳ තත්වයක් වුවත්, දකුණු අප්‍රිකානුවන්ට නම් එය එතරම් සුභදායක නෙ‍ාවීය.

මෙම දැවැන්ත සබඳතාවය බිඳ දැමීමට ඔවුන් තවමත් උපක්‍රම සොයමින් ක්‍රීීඩා කරන බවක් පෙනෙන්ට තිබුණි.

මහේල ජයවර්ධන 6 පහරකින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ අතර ඒ වන විටත් සංගක්කාර ද්විත්ව ශතකය සම්පූර්ණ කර තිබුණි. දෙවන දිනය නිමාවන විට 485ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පිළ ලබා ගන්නට සමත්විය. එහිදී තුන්වන කඩුල්ල සඳහා ලකුණු 471ක අඟනා සබඳතාවයක් සංගක්කාර, ජයවර්ධන එක්ව ගොඩනගා ගෙන තිබූ අතර මහේල ජයවර්ධන නොදැවී ලකුණු 224ක් වාර්තා කර තිබුණි.

තුන්වන දිනයට තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුව වී තිබුණේ මෙම පිතිකරණ සුසංයෝගය හරහා ශ්‍රී ලංකාව ඉහළම ස්ථානයක සිටිනු බලා ගැනීම හා මොවුන් දෙදෙනා ත්‍රිත්ව ශතක වාර්තා කරනු දැක ගැනීමයි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් විසින් පැය 10 පමණ කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට සමත් වූයේ නැත. ඔවුන් හට ඉතා ඉක්මනික් කඩුල්ලක් දවා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් 3 වන දින දිවා ආහාරයට තරගය නතර කරන විටත් එය ඉටු කර ගැනීමට ඔවුන් අසමත් විය. ඒ වන විට 576ක් ලෙස තිබූ ලෝක වාර්තාව බිද දැමීට තවත් අවශ්‍ය වී තිබුණේ ලකුණු 7ක් පමණි.

‍කෙමෙන් කෙමෙන් තරගය ඉදිරියට ඇදෙන විට එවකට ජයසූරිය හා මහානාම තැබූ 576ක ලෝක වාර්තාව බිද දැමීමට 146වන පන්දු වාරයේ දී සංගා සහ මහේල සුසංයෝගයට හැකි විය.  ඒ වන විට ජයවර්ධන ලකුණු 276ක් හා සංගක්කාර 271ක් ලබා ගෙන ශ්‍රී ලංකා පිළ ඉතා හොඳ ස්ථාවරයක සිටියේය.

149 වන පන්දු වාරයේ දී ලකුණු 600 වාර්තා කළ ශ්‍රී ලංකා පිල ඉනිමක දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. 157 වන පන්දු වාරයේ දී දර්ශනීය හතරේ පහරක් සමඟින් සිය ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට සමත්වූ ජයවර්ධන ඒ සමඟම ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

පිට පිට පිතිකරුවන් දෙදෙනා ‍ශතක, ද්විත්ව ශතක වාර්තා කරමින් ලකුණු 624ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් ක‍රමින් සිටි අතර තරගයේ 161 වන පන්දු වාරය තුළ දී එම වාර්තාගත සම්බන්ධතාවට තිත තබමින් ලකුණු 287ක් ලබා සිටි සංගක්කාර නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඇන්ඩෘ හෝල් සමත් විය.

නමුත් එතැනින් නොනැවතුනු මහේල ජයවර්ධන T.M. ඩිල්ෂාන් සමඟ එක්ව නැවතත් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට පියවර තැබුවේය. සනත් ජයසූරියගේ 340ක වාර්තාව අභිබවා යෑමට තරගයේ එක් මොහොත මහේල ජයවර්ධන සමත් විය. මෙසේ වාර්තා අලුත් කරමින් වාර්තා පිට වාර්තා තබමින් තරගය ඉදිරිය ඇ‍දෙන විට ශ්‍රී ලංකා ලකුණු සටහන 751ව තිබිය දී ලකුණු 45ක් ලබා ගෙන සිටි T.M. ඩිල්ෂාන්ගේ කඩුල්ල දවා ගැනීමට ඩේල් ස්ටේන් සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පි‍ලේ ක්‍රීඩක බ්‍රයන් ලාරාගේ වාර්තාගත ලකුණු 400ට ආසන්නයේ සිටි මහේල ජයවර්ධන ඇන්ඩෘ නෙල්ගේ පන්දුවක් හමුවේ දැවී යන්නේ ලකුණු 374ක වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමිනි.

ඔහුගේ දැවී යාමත් සමඟ ලකුණු 756කට ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර මහේල ජයවර්ධනගේ මේ සුපිරි පිතිකරණය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ඔහුට සුබ පැතීමට ද අමතක නොකළේය. එපමණක් නොව ලකුණු 624ක මෙම වාර්තාව, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා පොත් අතරට එකතු විය.

Mahela Jayawardeneනවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ක්රෝව් සහ ඇන්ඩෘ ජෝන්ස් එක්කව තෙවන කඩුල්ල සඳහා ලකුණු 467ක සම්බන්ධතාවයක් ගොඩනැගුවත් එය 1997 සනත් ජයසූරිය හා රොෂාන් මහානාම එක්ව ගොඩනැගූ සම්බන්ධතාවය නිසා ඉක්මවා යෑමට නොහැකි විය.

ඒත් ලාංකිකයින් තැබූ එම වාර්තාව නැවතත් බිඳ හෙළමින් එම අභිමානය අලුත් කිරීමට මෙම  ශ්‍රී ලාංකීක ක්‍රීඩකයින් දෙදෙනාට 2006 වසරේ දී හැකිවීම සුුවහසක් ශ්‍රී ලාංකීක ක්‍රිකට්ලෝලීන්ට ආඩම්බරයට කරුණකි.

1997 ආරම්භ කළ ටෙස්ට් ක්‍රිකට් දිවියට 2014 දී සමු දෙන මහේල ජයවර්ධන තරග 149කදී ඉනිම 252ක් ක්‍රීඩා කොට 49.84ක පිතිකරණ සාමාන්‍යක් ද රඳවා ගනිමින් ලකුණු 11,814ක් වාර්තා කොට තිබේ. ඒ අතරට අර්ධ ශතක 50ක් හා ශතක 34ක් අන්තර්ගත වේ.

ඔහු ලබා ගත් ලකුණු 374ක වාර්තාගත ලකුණු සංඛ්‍යාවත් සමඟින් ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට ඔහු පත් වූ අතර එහි දෙවන තැන සනත් ජයසූරියට හිමි වී තිබේ.

ක්‍රීඩකයා ලකුණු සංඛ්‍යාව ප්‍රතිවාදී කණ්ඩායම වර්ෂය
මහේල ජයවර්ධන 374 දකුණු අප්‍රිකාව 2006
සනත් ජයසූරිය 340 ඉන්දියාව 1997
කුමාර් සංගක්කාර 319 බංග්ලාදේශය 2014
කුමාර් සංගක්කාර 287 දකුණු අප්‍රිකාව 2006
මහේල ජයවර්ධන 275 ඉන්දියාව 2009

කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අතර ඔහු තරග 134කදී ලකුණු 12400ක් වාර්තා කොට තිබේ.

ක්‍රීඩකයා මුළු ටෙස්ට් ලකුණු ටෙස්ට් තරග වැඩිම ලකුණු
කුමාර් සංගක්කාර 12400 134 319
මහේල ජයවර්ධන 11814 149 374
සනත් ජයසූරිය 6973 110 340

එවන් වු දක්ෂතා ඇති මේ සුපිරි පිතිකරුව‍ා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය මනාව පෙන්වමින් පිටිය තුළදීත් පිටියෙන් පිටතදීත් තම ක්‍රීඩකයින් වෙනුවෙන් ඕනෑම මොහොතක පෙරමුණ ගැනීමට තරම් පෞරුෂයකින් හෙබි ක්‍රීඩකයෙකි.

අද වන විට ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2017 අප්‍රේල් මස 2 වැනිදා සිට කටයුතු කරන්නේ සිය ක්‍රිකට් දිවියේ තමන් හඹා ගිය ඉලක්කයේ නිවැරදි භාවය ලොවට කියාපාමිනි.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න