මධුශංක, ගමගේ, ගුණරත්න සහ කුමාර සිම්බාබ්වේ ටෙස්ට් සංචාරයට

1360
Madushanka, Gamage, Gunarathne and Kumara picked for Zimbabwe Tests

ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියේ ක්‍රීඩකයන්ට බලපෑ නොයෙකුත් ආබාධ තත්වයන් සලකා බලමින් ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත සිම්බාබ්වේ සංචාරය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ කසුන් මධුශංක සහ ලහිරු කුමාර යන වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයට ඇතුලත් කර ඇත.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ‘ඒ’ නායකත්වය සිරිවර්ධනට, සම්මු සහ මිලන්තට කුළුඳුල් කැඳවීම්

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ සහ මැද පෙල පිතිකරු අසේල ගුණරත්න ද මීළඟ සඳුදා රාත්‍රියේ සිම්බාබ්වේ බලා පිටත් වන පහලොස්දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට නම් කර ඇත්තේ ප්‍රථම වතාවටයි. ලහිරු ගමගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනා එක්දින තරංග පහකට ක්‍රීඩා කර ඇති අතර, ගුණරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත්තේ එකම එක විස්සයි විස්ස තරඟයක් පමණි.

ත්‍රිත්ව විද්‍යාලයෙන් 19න් පහල ක්‍රිකට් පිටියට පිවිසි ලහිරු කුමාර ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එකතු කර තිබුණද, ඔහු එකදු තරඟයක් හෝ ක්‍රීඩා නොකළේය. ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී කැපී පෙනෙන දස්කම් දැක්වු ඔහු එහි පැවත් වුණු යොවුන් ටෙස්ට් තරඟ දෙකේදී කඩුළු 13ක් ලබා ගන්නට සමත් වූ අතර පසුගියදා පැවැත් වුණු කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහි තරඟාවලියේදී තම ප්‍රථම පෙල ක්‍රිකට් දිවිය ආරම්භ කලේය.

මධුශංක, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ අභිමානවත් සිසුවෙකු වූ අතර ඔහු ප්‍රථම පෙල තරග 48කට ක්‍රීඩා කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී සිංහල ක්‍රීඩා සමාජය (S.S.C) නියෝජනය කරන ඔහු ප්‍රථම පෙල කඩුලු 136ක හිමිකරුවෙකි.

පිටියේ සටන්කාමියෙකු ලෙස ප්‍රකට ගුණරත්න, 42.77ක ලකුණු සාමන්‍යයකට හිමිකම් කියන අතර ඔහුගේ පිට දඟ පන්දුවෙන්ද සිම්බාබ්වේහිදී ශ්‍රී ලංකාවට වාසියක් අත්වනු ඇත.

දේශීය තරඟයකදී මහපටැඟිල්ලක බිඳීයාමක් හේතුවෙන් ශල්‍යකර්මයකට ලක් කෙරුණු උප නායක දිනේෂ් චන්දිමාල් මෙතෙක් පුර්ණ සුවය ලබා නොමැත. වේගපන්දු බල ඇණියේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ නුවන් ප්‍රදීප් ද පාදයේ ආබාධයක් හේතුවෙන් සංචිතයට ඇතුළත් නොවේ.

රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් යන දඟ පන්දුකරුවන් ත්‍රිත්වයම තේරීම් කමිටුව විසින් සංචිතයට එක්කර ඇත.

බලාපොරොත්තු වූ පරිදිම කොදෙව් A කණ්ඩායමට එරෙහිව හොඳින් පිත්ත හැසිරවූ දිමුත් කරුණාරත්න තම ස්ථානය ආරක්ෂා කරගෙන ඇති අතර කඩුලු රකින්නෙකු වන නිරෝෂන් දික්වැල්ල ද තමාට ස්ථානයක් වෙන්කරගැනීමට සමත් ව ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව 3-0ක ඉතිහාසගත ජයක් ලද ශ්‍රී ලංකා සංචිතයේ සිටි රොෂේන් සිල්වා සංචාරක සංචිතයෙන් ඉවතට ගොස් තිබේ.

තරඟ දෙකකින් යුත් තරඟාවලිය ඔක්තෝබර් 29වනදා හරාරේ හිදී ඇරඹීමට නියමිතයි. 2004 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කර නැත.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය.

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, කසුන් මධුශංක.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට

Crawler