පාසල් රග්බි පිටියට නව කණ්ඩායමක්!

110
Madeena National School

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි පිටියට නව අභියෝගයක් ගෙන ඒමේ සූදානමින්, මහනුවර මදීනා ජාතික පාසල පසුගියදා තම රග්බි දිවිය ආරම්භ කළා. සිසුන් 1800කට අධික ප්‍රමාණයක් මඩවල මදීනා ජාතික පාසලේ අධ්‍යන කටයුතු වල නිරත වන අතර මෙම පාසල ක්‍රීඩාව තුළින් ඉතා ඉහළ දස්කම් පා ඇති පාසලක්. 

පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන ෆයිසාල් අමීර්ඩීන්ගේ මඟ පෙන්වීම යටතේ මදීනා ජාතික පාසල තම ක්‍රීඩා දිවියේ නව හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට අත්පොත් තැබුවේ මෙම වසරේ ජූලි මස 20 වැනිදා යි. 

හිටපු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක, හිටපු කිංග්ස්වුඩ් විදුහල් ක්‍රීඩක සහ හිටපු ශ්‍රී ලංකා ජාතික සත්සාමාජික සංචිතයේ ක්‍රීඩක රිස්මි ජබ්බාර් ගේ පුහුණුකාරීත්වය යටතේ වයස අවුරුදු 12න් පහළ සහ 14න් පහළ කණ්ඩායම් පුහුණු වන අතර ඔහුට සහය වශයෙන් ගුවන් හමුදාවේ ෂාමින්ද කුමාර සහ හිටපු කිංග්ස්වුඩ් ක්‍රීඩක නස්රී මොහමඩ් ක්‍රියා කරයි.

පසුගිය 14 වැනි දින මදීනා ජාතික පාසලේ මංගල තරගය සරසවි උයන විදුහලට එරෙහිව පැවැත්වූයේ මදීනා විදුහල් ක්‍රීඩාංගණයේ දීය. එහිදී මදීනා විදුහලේ නායකයා වශයෙන් මකීන් මොහමඩ් සහ උප නායකයා වශයෙන් මුක්සිත් ශියාම් ක්‍රීඩා කළහ. සරසවි උයන විදුහල වෙනුවෙන් ප්‍රබුද්ධික මධුෂාන් නායකයා වශයෙන් ක්‍රීඩා කළ අතර උප නායකයා වශයෙන් ක්‍රීඩා කළේ කවිඳු චාමික අධිකාරී ය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<