ගම්පහත්, කොළඹත් ඇවිළෙන නීල හරිත සටන

1855
Lumbini vs Bandaranayake

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර 5 වැනි වරට පැවැත්වෙන “නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 23 සහ 24 දෙදින කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත යි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන මෙම පාසල් ද්විත්වය මෙවර නීල හරිත සටනට පිවිසෙන්නේ තරග වාරයේ දී තරග 12ක් බැගින් සහභාගී වෙමින් එහි අත්දැකීම් ද සමඟිනි.

රුහුණ නීල වර්ණයෙන් බැබළෙන 118 වැනි නිල් සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් දෙවැනි ..

කොළඹින් සටනට සූදානම්ව සිටින ලුම්බිණි විද්‍යාලයේ නායකත්වය කවින් පීරිස් වෙත හිමිව ඇති අතර ගම්පහින් සටනට සූදානම්ව සිටින බණ්ඩාරනායක විද්‍යාලයේ නායකත්වය හචිත තිමාල් වෙත හිමිව ඇත.

නීල හරිත වාර්ෂික මහ ක්‍රිකට් තරග ඉතිහාසය ආරම්භ වෙන්නේ 2013 වසරේ දී පැවති සීමිත පන්දුවාර තරගයකිනි. එම තරගයේ දී ලත් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම 2015  වසරේ සිට දෙදින තරගයක් ලෙසින් නිර්මාණය වන්නේ ය. ඒ අනුව මෙතෙක් පැවති දෙදින තරග 3 අතුරින් තරග දෙකක ජයග්‍රහණයන් ලුම්බිණි විද්‍යාලය සතු වන අතර පැවති අනෙක් දෙදින තරගය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

ලුම්බිණි විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ පෙර ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන්ම කියවෙන්නේ මාලින්ද පුෂ්පකුමාර සහ විකුම් සංජය ය. බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් එකී ගෞරවයේ හිමිකාරිත්වය නුවන් කුලසේකර සතු වෙන්නේ ය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

ලුම්බිණි විද්‍යාලය දැනට දශක දෙකක පමණ කාලයක සිට පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන අතර ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරමින් මේ ගත කරන්නේ 40 වැනි වසරයි. මෙවර තරගාවලියේ දී ලුම්බිණි විද්‍යාලය තරග 12කට සහභාගී වෙමින් පූර්ණ ජයග්‍රහණ 3ක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක්, පූර්ණ පරාජයන් 4ක් සහ පළමු ඉනිමේ පරාජයන් 2ක් ලෙසින් තරග නිමා කර ඇත.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ ලකින්ද උපේන්ද්‍ර ය. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 724කි. ඊට අමතරව නායක කවීන් පීරිස් ලකුණු 703ක් ලබා ගනිමින් පිතිකරුවන් අතරින් ඉදිරියෙන් සිටී. කණ්ඩායමේ වඩාත්ම බලාපොරොත්තු සහගත පන්දු යවන්නා වී සිටින්නේ විමුක්ති කුලතුංග ය. ඔහු මේ වාරයේ ලබා සිටින කඩුලු සංඛ්‍යාව 100කි. ඊට අමතරව ලකුණු 609ක් රැස් කරමින් සහ කඩුලු 37ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විනූ හේමාල් ද කණ්ඩායමේ ඉදිරිපෙළේ බලාපොරොත්තුවකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත පාසල් අතුරින් ප්‍රමුඛස්ථානයේ ලා සැලකෙන බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය වසර 60කට ආසන්න ය. ඔවුන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කිරීමට පැමිණ මේ ගත වෙන්නේ සිව්වැනි වසරයි. මෙවර පැවති තරගාවලියේ දී ඔවුන් පූර්ණ ජයග්‍රහණ දෙකක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වීමේ සූදානමින් පසුවේ.

කොළඹ ලුම්බිණි විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

කණ්ඩායමේ වඩාත්ම බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වී සිටින්නේ ජනිඳු ජයවර්ධන ය. ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ශතකයක් ද සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 551කි. ඊට අමතරව සසිත මදනායක ලකුණු 500 සීමාවේ සිටී. කණ්ඩායමේ උප නායක අරෝෂ මධුශාන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඉදිරියේ පසුවෙමින් ලකුණු 450 සීමාවේ සිටිමින් කඩුලු 34ක් දවාගෙන ඇත.

මේ සියලු දක්ෂතා සමඟින් නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවර වඩාත් තියුණු බවක් උසුලනු ඇතැයි විශ්වාස කළ හැකි ය. විශේෂයෙන්ම කණ්ඩායම් දෙකම තම තමන්ගේ පාසල් ක්‍රිකට් තරග වාරයේ පෑ දක්ෂතා ඒ බැව් සනාථ කරන්නේ ය.

ගම්පහ සිට කොළඹට නෑගම් එන බණ්ඩාරනායකවරුන් මෙවර නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය වෙනුවෙන් සහභාගී වනුයේ මෙතෙක් තමන්ට හිමි නොවූ කුසලානය රැගෙන යෑම පෙරදැරිව වූවද, තමන් සන්තකයේ තිබෙන කුසලානය ඉතා ලෙහෙසියෙන් රැගෙන යෑමට කොළඹ ලුම්බිණියන් ඉඩ ලබා දෙනු නැත. එය තීරණය වනුයේ ඔවුන් පිටියේ දක්වන දක්ෂතා අනුව ය.

ලුම්බිණි විද්‍යාලයීය කණ්ඩායම;

කවීන් පිරිස් (නායක), විමුක්ති කුලතුංග (උප නායක), ප්‍රභාත් මධුසංඛ, රවිමල් ප්‍රනාන්දු, යොහාන් දිල්ශාන්, සසික චන්දීර, ඔවින් මනුල, දිල්ෂාන් රණවීර, අවිශ්ක විජේරත්න, සත්සර මධුමාල්, විනූ හේමාල්, ලසිඳු උපේන්ද්‍ර, පසිඳු නඳුන්, රවිඳු සමරවීර, සඳුනිල් සංකල්ප, පූර්ණ සඳරුවන්, අමිත දාබරේ, පසිඳු කාවින්ද, ශෂී ප්‍රියශාන් සහ කවීන් කරුණාරත්න

නිලධාරීන්;

කේ. ජී. විමලසේන මහතා (විදුහල්පති), සම්පත් ගුණරත්න මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඩී. එම්. එස්. දිසානායක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), යොමාල් සංජීව මහතා (පුහුණුකරු), සරත් උපනන්ද මහතා (ක්‍රීඩා ලේකම්)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම;

හචිත තිමාල් (නායක), අරෝෂ මධුශාන් (උප නායක), පසිඳු බණ්ඩාර, මාධව තත්සර, ශහිරු රොෂේන්, සසිත මදනායක, ජනිඳ ජයවර්ධන, හසිත පතිරගේ, රසික ජයවීර, දිනුෂ්ක නිමේෂ්, සමිත් රාජපක්ෂ. ගයාෂාන් හෙට්ටිආරච්චි, දිල්ශාන් මොල්ලිගොඩ, සඳුන් දේවින්ද, දිලීප සඳරුවන්, ලක්ෂාන් මධූෂ, මධුර දොළවත්ත, ප්‍රභාෂ් අල්විස්, අශේන් රන්දිම, දිල්සර ශෙහාන් සහ තිසර කවිඳු

නිලධාරීන්;

ඉරාන් චම්මික ද සිල්වා මහතා (විදුහල්පති), සුසන්ත කරුණාරත්න මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), කපිල සමරවීර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කනිෂ්ක අමරසිංහ මහතා (පුහුණුකරු), ධනුෂ්ක සම්පත් මහතා (සහාය පුහුණුකරු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<