නීල හරිත සටනෙන් සුපිරි ජයක් ලුම්බිණියට

359
Battle of Blues and Green

කොළඹ කෝල්ට්ස් පිටියට පැමිණි දහස් සංඛ්‍යාත ස්වකීය දිරිගන්වන්නන් අමන්දානන්දයට පත් කරමින් සිව්වැනි නීල හරිත සටනෙන් ඉනිමක සහ ලකුණු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අද (21) කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත් විය. එම ජයග්‍රහණය පසුපස සිටි මහපොදු සාධකය බවට පත්වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක පසිඳු නදුන් ඉන්ද්‍රජාලික පන්දු යැවීමක නිරත වෙමින් බණ්ඩාරනායක පිතිපෙළ සම්පූර්ණයෙන්ම බිඳ දැමුවේය.

නීල හරිත සටනේ මුල් දිනයේ වාසිය ලුම්බිණි විද්‍යාලයට

සිව්වැනි වරටත් ක්‍රියාත්මක වන කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර නීල හරිත සටන අද (20) කොළඹ කෝල්ට්ස් …

ඊයේ ප්‍රථම දිනය සඳහා විනිසුරුවරුන් තරගය නතර කරන විට ලුම්බිණි පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 247 හඹා යමින් සිටි බණ්ඩාරනායක විද්‍යාලය කඩුලු 4ක් දැවී ලබා සිටියේ ලකුණු 52ක් පමණි. එබැවින් තරග ජයග්‍රහණයක් පිළිබඳ ඉව වැටුනු ලුම්බිණි ආධාරකරුවන් අද උදෑසන ඊයේ දිනයටත් වඩා වැඩි උනන්දුවකින් තම විද්‍යාලය දිරි ගැන්වීම උදෙසා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ.

එම ප්‍රේක්ෂකයින් ජය ඝෝෂාව මධ්‍යයේ අද තම කඩුලු දඩයම ඇරඹූ ලුම්බිණි විද්‍යාලයේ පසිඳු නදුන් අද තම වේග පන්දුවෙන් බණ්ඩාරනායක පිතිකරුවන්ව මංමුලා කරමින් ලකුණු 49ට කඩුලු 7ක් බිඳ හෙලීය. එබැවින් අද දිනයේ දී බණ්ඩාරනායක විද්‍යාලයට සිය මුල් ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණි. බණ්ඩාරනායක ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පසිඳු බණ්ඩාර පවා රැස්කලේ ලකුණු 25ක් පමණි.

එබැවින් ලුම්බිණි පළමු ඉනිමට වඩා ලකුණු 133ක් පිටුපසින් තම ඉනිම නිමා කළ බණ්ඩාරනායක විද්‍යාලයට නැවත දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමේ අවමානයටත් මුහුණ දෙන්නට සිදු විය. ඒ තරගය පරාජය වීමේ දැඩි අවදානමක්ද සමගයි. එහි දී සංයමයෙන් පන්දුවට පහර දෙමින් තරගය බේරා ගැනීමට සසිරි අධිකාරි (40), ජනිඳු ජයවර්ධන (35) ප්‍රමුඛ බණ්ඩාරනායක පිතිකරුවන් උත්සාහ දැරූවත් ලුම්බිණි විද්‍යාලයේ පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ වී ගියේය. දෙවැනි ඉනිමේ දී පසිඳුට වැඩි බරක් නොපැටවූ ලුම්බිණි විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක විමුක්ති කුලතුංග කඩුලු 3ක් බිඳ හෙලද්දී පසිඳු සහ තානුක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

තරගය පුරාවට තම දකුණත් වේග පන්දුවෙන් අණසක පැතිරවූ පසිඳු නදුන් සමස්ත තරගය පුරාවට ලකුණු 85කට කඩුලු 9ක් දවා ගනිමින් බණ්ඩාරනායක කඳවුරට දරුණු පරාජයක් හිමිකර දුන්නේය. එබැවින් මෙවර විද්‍යාල දෙක අතර මහා ක්‍රිකට් සටන නිමාවට පත්වූයේ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬ මැද ලුම්බිණි විද්‍යාලයට ශූරතා කුසලානයේ පහස හිමිකර දෙමිනි.

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 57.4): කවීන් පීරිස් 80, අමිත දාබරේ 30, රවිඳු සංජීව 29, කණිෂ්ක මධුවන්ත 21, හිමත් හංසන 3/57, ජනිඳු ජයවර්ධන 3/62.

බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 35.3): පසිඳු බණ්ඩාර 25, පසිඳු නදුන් 7/49.

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 36.3): සසිරි අධිකාරි 40, ජනිඳු ජයවර්ධන 35, විමුක්ති කුලතුංග 3/17, පසිඳු නඳුන් 2/36, තානුක දාබරේ 2/21.

     තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට