ඊතල ප්‍රහාරයකින් ඕවල් ක්‍රීඩාංගණයේ තරගයකට බාධා

856
London Oval hit by a cross-bow bolt

එංගලන්ත මිඩ්ල්සෙක්ස් සහ සරේ ප්‍රාන්ත අතර ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දී සිදු වූ සිදුවීමක් නිසා තරගය එතැනම නවතා දමා ප්‍රේක්ෂකයන් ආරක්‍ෂිත ස්ථානවලට රැගෙන යාමට ක්‍රීඩාංගණ බලධාරීන්ට සිදු විය.

තරගය අතරතුර දී පිටිය මතට වැටුණු හරස් දුන්නක (Cross-bow) ඊතලයක් නිසා පිටිය අනාරක්ෂිත බවයි විනිසුරුවන් පැවසුවේ. මෙය සාමාන්‍ය ඊතලයක් (arrow) නොවූ අතර එය හැඳින්වෙන්නේ ඇණයකින් කෙළවර වන ඊතලයක් (bolt) ලෙසයි. සිද්ධිය නිසා 2,500කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ආරක්‍ෂිත සෙවිලි යටට රැගෙන යාමට බලධාරීන් කටයුතු කළේය.

ලන්ඩනයට කිහිපවරක්ම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මෙවැනි ක්‍රියා තර්ජනාත්මක ඒවා බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය විශ්වාස කරන අතර සරේ කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් ගූල්ඩ් මහතා පවසා තිබුණේ “ඉන් යමෙකු පහසුවෙන්ම මියයන්නට තිබුණු” බවයි.

කෙසේ වෙතත් ගුවන් විදුලි තරග විස්තර විචාරකයා පැවසූ අන්දමට ඊතලය පැමිණ තිබුණේ ක්‍රීඩාංගණයට පිටතිනි. දැනට තමන් ද එය විශ්වාස කරන බවයි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය සඳහන් කළේ.

මෙය ත්‍රස්තවාදී තර්ජනයක් දැයි මෙතෙක් සනාථ වී නැතත් පසුගිය දින කිහිපය තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද පල්ලෙකැලේ දී බෝතල් ප්‍රහාරයක් එල්ල වීමෙන් පෙනී යන්නේ ක්‍රීඩකයන් වෙත එල්ල වන පිටියේ අභියෝග මෙන්ම පිටියෙන් පිටත අභියෝග ද ගණනින් වැඩි වන බවයි.

වාර්තාව – රොයිටර්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට