සුගතදාසය දෙවනත් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

1565

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (06) සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්වූ අතර එහි දී  ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

බාලකයන්ට මග හැරුණු කීර්තිය බාලිකාවෝ රැක දෙති

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී

තරගාවලියේ දෙවන සහ අවසන් දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් පළමු පදක්කමට හිමිකම් කියන්නට සමත් වූයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ දිල්ෂි කුමාරසිංහ යි.

එහි දී තත්පර 02:07:00ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළ ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ එම් ඉසව්ව සඳහා නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි. ඒ අනුව මෙය දිල්ෂි මෙම තරගාවලිය තුළ තරගාවලි වාර්තාවක් සමඟින් රන් පදක්කමක් දිනාගත් දෙවන අවස්ථාව වන අතර ඊයේ දිනයේ දී ඇය මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ දී ද නව තරග වාර්තාවක් පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම දිල්ෂි මෙම මීටර 800 ඉසව්ව සඳහා වාර්තා කළ කාලයත් සමඟ ඇය මෙම වසරේ ජූලි මාසයේ ෆින්ලන්තයේ දී පැවැත්වෙන IAAF වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එය ඇය ලබාගත් විශාල ජයග්‍රහණයකි.

ඉන් අනතුරුව පැවති මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ දී ද ඉහළ දස්කම් අතරට පැමිණීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව එහි දී මිනිත්තු 1:53.35ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළ හර්ෂ කරුණාරත්න සහ මිනිත්තු 1:53.95ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළ ඉසුරු ලක්ෂාන් පිළිවෙළින් රන් හා රිදී පදක්කම්වලට හිමිකම් කියන්නට සමත් විය.

පසුව පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්ව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක පසිදු කොඩිකාර තරගය ආරම්භයේ සිට ඉදිරියෙන් රැඳෙන්නට සමත් වුවත් ඔහුට කරට කර තරගයක් ලබා දෙන්නට ඉන්දියාව නියෝජනය කරමින් තරගයට සහභාගී වූ අමාන් සමත් විය. එහි දී අවසාන කඩුල්ල මතින් පැනීමේ දී පසිදු එය සාර්ථකව පැනීමට අපොහොසත් වීම නිසා ඔහු හා තිබූ පරතරය අඩුකර ගන්නට අමාන් සමත් වූ අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම එකට තරගය අවසන් කළ සේයාවක් දිස්විය.

කෙසේ නමුත් විනිසුරුවන්ගේ අවසන් තීරණය වූයේ තත්පර 52.56ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ පසිදු කොඩිකාර එහි රන් පදක්කම දිනාගත් බවයි. එහි දී ඔහු විසින් වාර්තා කළ කාලය නව තරග වාර්තාවක් ලෙස ද තහවරු විය. ඒ අනුව එම කාලයම වාර්තා කරමින් තරගය අවසන් කළ ඉන්දියාවේ අමාන් හට එහි දී දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. 

අනතුරුව පවත්වනු ලැබූ මීටර 200 කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම සිය අණසක පතුරුවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම මෙහි දී කැපී පෙනෙන්නට විය. එහි දී කාන්තා ඉසව්වේ පදක්කම් 3ම දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ අනුව එම ඉසව්ව තත්පර 24.70කින් අවසන් කළ අමාෂා ද සිල්වා එහි දී රන් පදක්කම දිනා ගනිමින් මෙම තරගාවලිය තුළ සිය තෙවැනි රන් පදක්කමට හිමිකම් කියන්නට සමත් විය.

තත්පර 24.80කින් තරගය අවසන් කළ ෂර්මිලා ජාන් සහ තත්පර 25.08කින් තරගය අවසන් කළ ෂෙලින්ඩා ජැන්සන් එහි දී පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට සමත් විය. අනෙක් පසින් එහි පිරිමි ඉසව්ව තත්පර 21.50කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ද මෙම තරගාවලිය තුළ සිය තෙවැනි රන් පදක්කම දිනා ගන්නා ලදි.

මීටර 5000 පිරිමි ඉසව්ව ශ්‍රී ලංකාවට සුවිශේෂී තරග ඉසව්වක් විය. එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් අභියෝගයකින් තොරව ඉන්දියානු ක්‍රීඩකයින් දෙපළක් වූ අජේ කුමාර් බින්ද් සහ ගුර්ප්‍රීත් විසින් දිනා ගනු ලැබූ නමුත් එහි ලෝකඩ පදක්කම සඳහා ශ්‍රී ලංකාවේ එස්. කින්තුෂන් සහ නේපාලයේ නරේෂ් බුද්ධා අතර ඉතා තියුණු තරගයක් දැකගත හැකි විය.

එහි දී අවසන් වටය තුළ ඔවුන් දෙදෙනාම සිය වේගය වැඩිකර ගනිමින් ධාවනයේ නිරත වූ අතර තරගයේ අවසන් මීටර 100ක දුර තුළ එම තරගය තවත් උත්සන්න වන ආකාරය දැක ගත හැකි විය. ඒ අනුව කරට කර සටනකින් අනතුරුව තරගය අවසන් වන්නට ඉතා ආසන්නයේ දී නරේෂ් පසුකරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට කින්තුෂන් සමත් විය.

>> තරගාවලියේ දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<

අනතුරුව පැවති මීටර 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.එහි දී පළමු යෂ්ටි හුවමාරුව වෙත පැමිණෙන විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානය වෙත රැගෙන එන්නට රුමේෂි අත්තිඩිය සමත් වූ අතර එහි දී යෂ්ටිය ලබාගත් සචිනි දිව්‍යාංජලී දෙවැනි යෂ්ටි හුවමාරුව වෙත පැමිණෙන විට ඉන්දියාව අභිබවමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානය දක්වා රැගෙන එන්නට සමත් විය.

අනතුරුව යෂ්ටිය ලබාගත් අමාෂා ද සිල්වා ප්‍රථම ස්ථානයේම රැඳෙමින් දිල්ෂි කුමාරසිංහ හට එය බාර කළ අතර එහි දී ඉන්දියානු ක්‍රීඩිකාව ඇයට දැඩි අභියෝගයක් ලබා දෙන්නට සමත් විය. කෙසේ නමුත් අවසාන මීටර 100 තුළ ඉන්දියානු ක්‍රීඩිකාවගේ අභියෝගය පසෙකළමින් ඉදිරියට ඇදුණු දිල්ෂි මෙම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට සමත් වූයේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි. එහි දී ඔවුන් වාර්තා කර ගනු ලැබූ කාලය මිනිත්තු 03:43.31ක් ලෙස සටහන් විය.

නායකත්වයේ වගකීම් අරුණට

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන 83 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා

අනතුරුව තරගාවලියේ අවසන් ඉසව්ව ලෙස පැවති මීටර 400×4 පිරිමි සහය දිවීමේ ඉසව්ව ද ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ඉසව්වක් විය. එහි දී පළමු ධාවකයින් දෙදෙනා ලෙස ධාවනයේ යෙදුණු පසිදු කොඩිකාර සහ නිකූ පබසර ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ රඳවන්නට සමත් වූ නමුත් තෙවැනි ධාවකයා ලෙස ධාවනයේ යෙදුණු රවිශ්ක ඉන්ද්‍රජිත් හට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දියානු ක්‍රීඩකයා ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට ඇද දමන්නට සමත් විය.

කෙසේ නමුත් අවසානයේ යෂ්ටිය ලබා ගත් අරුණ දර්ශන කිසිදු අභියෝගයකින් තොරව ශ්‍රී ලංකාව නැවතත් පළමු ස්ථානයට රැගෙන එමින් එම ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාවට හිමිකර දෙන්නට සමත් විය. එමෙන්ම ඔවුන් මෙහි දී වාර්තා කර ගත් මිනිත්තු 3:08.23ක කාලය නව දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාවක් ලෙස සටහන් වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී පිහිටු වනු ලැබූ පළමු සහ එකම දකුණු ආසියානු කනිෂ්ඨ වාර්තාව විය.

ඒ අනුව තරගාවලිය අවසානයේ රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 19ක් සමඟින් සමස්ත පදක්කම් 42ක් දිනා ගත් ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූ අතර එහි ප්‍රථම ස්ථානය රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 08ක් සමඟින් සමස්ත පදක්කම් 50කට හිමිකම් කියූ ඉන්දියාව දිනා ගැනීමට සමත් විය. මෙහි දී සඳහන් කළ යුතුම කරුණක් නම් ජවන ඉසව්වල දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා යමින් ඔවුන් සමඟ කරට කර තරග කරමින් දක්ෂතා දැක්වීමයි. ඊට නවීකරණය කරන ලද සුගතදාස ධාවන පථයෙන් ලැබුණු සහයෝගය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල රුකුලක් විය. 

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<