අඳුරින් වැසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සඳකැන් එළිය දෙයි

3728

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේ දී උරුම වූ අනපේක්ෂිත පරාජයේ අවමානය යම්තාක් දුරකට මකා ගන්නට අද (02) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

ඒ දෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7කින් පහසුවෙන් පරාජය කිරීමත් සමඟයි. ඉන්ද්‍රජාල පන්දු යැවීමක නිරත වුන ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග සහ පිත්තෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග මෙම සුපිරි ජයග්‍රහණය පසුපස සිටි විශිෂ්ටයින් තිදෙනා බවට පත්විය.

වාර්තාගත ජයක් සමඟින් සිම්බාවේ කණ්ඩායම සිංහයන් හඬවයි

ශ්‍රී ලංකා පොළොව මත දී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගොස් එක්දින තරගයක් ජය ගන්නට ලොව කිසිදු කණ්ඩායමක් සමත්ව සිටියේ නැත.

කාසියේ වාසිය දිනා ගත් ඇන්ජෙලෝ මැතිව්ස් තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී සිම්බාබ්වේ පිතිකරුවන්ට ලබා දීමටයි. ඊයේ රාත්‍රී කාලයේ ගාල්ල ප්‍රදේශයට ඇද වැටුණු වර්ෂාපතනය නිසා වැඩි වේලාවක් වසා තැබුණු තණතිල්ලේ යම් තරමක තෙතමනයක් පැවතීමත්, සන්ධ්‍යා කාලයේ දී තරගයට වර්ෂාවෙන් බාධා සිදුවීමට ඉඩ ඇති බවට පැවසුණු අනාවැකිත් ඔහුගේ මෙම තීරණයට බොහෝ දුරට හේතු වන්නට ඇත.

වෛරස් උණ වැළඳීම නිසා අද තරගයට සහභාගි වීම අවිනිශ්චිතව සිටි ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම අද උදෑසන පැවති යෝග්‍යතා පරීක්ෂණය සමත් වී කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සැනසිල්ලට හේතු විය. කෙසේ වෙතත් පළමු එක්දින තරගයේ දී වැඩි දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුන අමිල අපොන්සු, ලහිරු මධුශංක සහ අකිල ධනංජයව මෙම තරගයට සහභාගි නොකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.

ඒ වෙනුවට තවමත් 19 වැනි වියේ පසුවන පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන් සහ වඩා වැඩි වේගයක් සහිත දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබුණි. පෙරළිකාර ජයග්‍රහණයක් ලබාගෙන ඉහළ ආත්ම විශ්වාසයකින් සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කොට නොතිබුණි. කලින් තරගයේ දී උරුම වූ දරුණු පරාජය හමුවේ වුවද අද තරගය නැරඹීමට සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් එක්වී සිටීම ද විශේෂිත සිදුවීමක් බවට පත්විය.

තරගය නැවත නරඹන්න පිවිසෙන්න

තරගය ආරම්භ කරමින් ලසිත් මාලිංග යැවූ ප්‍රථම පන්දුවාරයේ සිව්වැනි පන්දුවටම ලකුණු නොලබා සිටි හැමිල්ටන් මැසකඩ්සා උඩපන්දුවක් ලබා දුන් නමුත් එම පහසු අවස්ථාව ස්ලිප් කලාපයේ පන්දු රැකි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගියේය. ඉන් අනතුරුව 13 වැනි පන්දුවාරයේ දී ද සඳකැන්ගේ පන්දුවකට ඔහු ලබා දුන් උඩපන්දුව ධනුෂ්ක ගුණතිලක බිම අතහරින ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම කලක සිට පන්දු රැකීමේ දී සිදු කරන මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත් මැසකඩ්සා අද සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 41ක් රැස් කළේය.

කෙසේ වෙතත් පළමු තරගයේ දී සුපිරි ශතකයක් වාර්තා කළ සොලමන් මයර් අද ලකුණු නොලබාම දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් විය. ඉන් අනතුරුව ක්‍රේග් අර්වයින් සහ හැමිල්ටන් මැසකඩ්සා අතරේ අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුණ ද එය බිඳ වැටීමත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සමත් විය. එහි දී වැඩි වශයෙන් කැපී පෙනුණේ අද තරගය සඳහා එක්කොට තිබූ ලක්ෂාන් සඳකැන්ගේ සුවිශේෂී පන්දු යැවීමයි.

ක්‍රේග් අර්වයින් සහ සිකන්ඩර් රාසා වැනි අත්දැකීම් බහුල පිතිකරුවන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඉඩ නොදුන් සඳකැන් අද ලකුණු 52කට සිම්බාබ්වේ පිළේ කඩුලු 4ක්ම දවා ගැනීමට සමත් විය. අර්ධ කාලීන පන්දු යවන්නන් වශයෙන් කටයුතු කරන අසේල ගුණරත්න සහ ධනුෂ්ක ගුණතිලක ද තමන්ට පන්දු යැවීමට ලැබුණු අවස්ථාවන් දෙකේ දී වටිනා කඩුලු 2ක් දවා ගත්හ. ඉනිමේ අවසන් කොටසේ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබාගෙන ශ්‍රී ලංකා පිළට තර්ජනයක් වී සිටි මැල්කම් වොලර් දමනය කිරීම සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුව භාර කරන්නේ නවක ක්‍රීඩක වනිඳු හසරංගටයි.

තමන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාව අමරණීය ක්‍රිකට් මතකයක් බවට පත් කර ගත් මෙම නව යොවුන් දකුණත් පා දඟ පන්දු යවන්නා සටන්කාමී පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන වොලර්ව අන්දමන්ද කරමින් ඔහුගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් විය. ඉන් නොනැවතුනු ඔහු මීළඟ පන්දුවේ දී ඩොනල්ඩ් තිරිපානෝව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායම අන්ත අසරණ කර දමමිනි. එදා මෙදාතුර ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයෙකු මංගල තරගයේ දීම කඩුලු ත්‍රිත්වයක් දවා ගත් තෙවැනි අවස්ථාව සනිටුහන් කරමින් ඔහු ටෙන්ඩායි චටාරාගේ කඩුල්ල බිඳ හෙළන්නේ ඉන් අනතුරුවයි. ලෝකයේ මීට පෙර මෙවන් දක්ෂතාවයක් දක්වා ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක කාගිසෝ රබාඩා සහ බංග්ලාදේශ ක්‍රීඩක තයිජුල් ඉස්ලාම් පමණි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 155කට සීමා විය.

ඡායාරූප ඇල්බමය: ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින තරගය

දිවා විවේකයට තවත් වැඩි වේලාවක් ඉතිරි වූ නිසා ඊට පෙර ශ්‍රී ලංකාවට පන්දුවාර 9ක් සඳහා මුහුණ දීමට අද සිදු විය. එහි දී ඔවුන් කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 44කි. පළමු තරගයේ දී සාර්ථක පිතිහරඹයක් දියත් කළ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් තුල දී ක්‍රීඩාගාරයට හරවා යවන්නට වේග පන්දු යවන ක්‍රීඩක ටෙන්ඩායි චටාරා සමත් විය. කෙසේ වෙතත් උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 66ක සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා පිළ පීඩනයෙන් ගොඩ ගැනීමට සමත් වූහ.

හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් රැස් කර ගෙන සිටි නිරෝෂන් දික්වැල්ල සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් හමුවේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වුණු මැතිව්ස් සහ තරංග තම අත්දැකීම් මනාව උපයෝගී කර ගනිමින් තරගය ජය ගන්නා තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූහ. ඒ වන විට ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කර තිබුණි. තම එක්දින දිවියේ 34වැනි අර්ධ ශතකය ලෙසින් උපුල් තරංග අද ලකුණු 75ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 8ක් සමඟිනි.

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ ඇන්ජෙලෝ මැතිව්ස් තරගය ජයග්‍රහණය කරන තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 28ක් රැස්කර ගත්තේය. පන්දු 35ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 4ක් අන්තර්ගත විය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගය කඩුලු 7කින් ජය ගත්තේ තවත් පන්දුවාර 20ක්ම ඉතිරිව තිබියදීයි.

තරගයේ වීරයා සම්මානය දක්ෂ පන්දු යැවීමක යෙදුණු ලක්ෂාන් සඳකැන්ට හිමි විය. ඒ අනුව එක්දින තරග 5කින් සමන්විත තරගාවලිය මේ වන විට 1 – 1ක් ලෙස සම තත්වයේ පසුවෙයි. දෙරට අතර තෙවැනි එක්දින තරගය එළඹෙන 6 වැනිදා හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා තරගයක් ලෙසින් ඇරඹීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

Zimbabwe - BattingToss: Sri Lanka
Hamilton Masakadzac & b Gunarathne41 (56)
Solomon Mirec Dickwella b Pradeep0 (5)
Craig Ervinec Dickwella b Sandakan22 (41)
Sean Williamsc Pradeep b Gunathilaka13 (19)
Sikandar Razac Pradeep b Sandakan8 (17)
Ryan Burlb Sandakan9 (14)
Malcolm Wallerb Hasaranga38 (28)
PJ Moorb Sandakan11 (13)
Graeme CremerNot Out1 (8)
Donald TiripanoLBW b Hasaranga 0 (1)
Tendai Chatarab Hasaranga0 (1)
TotalExtras (12)155/10 (33.4 overs)
Sri Lanka - BowlingOMRW
Lasith Malinga31170
Nuwan Pradeep70181
Dushmantha Chameera50230
Lakshan Sandakan100524
Asela Gunarathne 50151
Danushka Gunathilaka1091
Wanindu Hasaranga2.40153
Sri Lanka - BattingToss: Sri Lanka
Niroshan Dickwellac & b Cremer35 (54)
Danushka Gunathilakab Chatara8 (7)
Kusal Mendisc Moor b Chatara0 (1)
Upul TharangaNot Out75* (86)
Angelo MathewsNot Out 28* (35)
Asela Gunarathne
Wanindu Hasaranga
Dushmantha Chameera
Lakshan Sandakan
Lasith Malinga
Nuwan Pradeep
TotalExtras (12)158/3 (30.1 overs)
Zimbabwe - BowlingOMRW
Tendai Chatara50332
Sikandar Raza100340
Donald Tiripano 1060
Graeme Cremer9.10461
Sean Williams30200
Ryan Burl 10150