වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය

393

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට කිසිම සැකයක් නැත. 1996 මාර්තුවේ යම් දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ග්ලේන් මැග්‍රාත් එල්ල කළ පන්දුවක් තර්ඩ් මෑන් කලාපය ඔස්සේ තල්ලු කරමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක පහස ලබා දුන්නේය.

ඕස්ට්‍රේලියානුවන් ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් වහාම නායක අර්ජුන රණතුංග කඩුලු ඉනි දෙකක් ගලවා ගෙන තම ලයට තදින් තද කරගත්තේය. ඉන් එකක් අර්ජුන ගලවා ගත්තේ තමා වෙනුවෙන්ය. අනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අනූපමය මෙහෙයක් කළ නිහඬ වීරයෙකු වෙනුවෙනි. 

පාදයේ ආබාධයක් සහ අසනීප තත්ත්වයක් යටතේ එකී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා අවසන් පූර්ව තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගෙන එන්නට කල්කටාවේ දී අනගි ඉනිමක් ක්‍රීඩා කළේය.

“මහා, මේ ඉන්නේ අයිතිය ඔබටයි” 

නායක අර්ජුන තම ග්‍රහණය ලිහිල් කරමින් එක් කඩුලු ඉන්නක් රොෂාන් මහානාම නම් විශිෂ්ටයා අත තැබුවේය. 1996 ලෝක කුසලානයට වසර කිහිපයක් පෙර සිට අර්ජුන රණතුංග සහ රොෂාන් මහානාම අතර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් යම් පරස්පරතා මතුවී තිබුණ ද, ලාහෝරයේ ස්වර්ණමය රාත්‍රිය ඒ සියල්ල අමතක කරවා තිබුණි. එමෙන්ම 1996 විල්ස් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් මහානාම ලබා දුන් දායකත්වය නායක අර්ජුන හොඳින්ම දැන සිටියේය.

1966 වසරේ මැයි 31 වැනිදා කොළඹ දී උපත ලද රොෂන් සිරිවර්ධන මහානාම ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ කොළඹ නාලන්ද විදුහල හරහාය. ඉහළ විනයකින් යුක්තව සහ ක්‍රීඩාවේ උත්තම ගුණාංග ආරක්ෂා කරගනිමින් ක්‍රීඩාව හදාරන්නට ලැබීම පසුකලෙක මහත්මා ගති ඇති විශිෂ්ටතමයෙකු ක්‍රිකට් ලෝකයට දායාද කරන්නට මග පෑදුවේය.

වයස අවුරුදු දහතුන වන විට නාලන්ද විදුහලේ පළමුපෙළ කණ්ඩායම නියෝජනය කරන්නට තරම් සහජ හැකියාවක් කුඩා මහානාමගෙන් පෙන්නුම් කෙරුණි.

රොෂාන්ගේ සොහොයුරු දේවක මහානාම ද අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අතර රොෂාන් තරම් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට ඔහුගේ කැමැත්තක් හෝ උවමනාවක් තිබුණේ නැත.

නොයෙක් වයස් මට්ටම්වල සහ ශ්‍රී ලංකාවේ දෙවන පෙළ කණ්ඩායම් හරහා දැක්වූ සුවිශේෂී දස්කම් නිසාම 1986 මාර්තුවේ සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව එක්දින සහ ටෙස්ට් වරම් දිනා ගැනීමට මහානාම සමත් විය.

ඒ ශ්‍රී ලංකාවේ 36 වැනි ටෙස්ට් ක්‍රීඩකයා සහ 45 වැනි එක්දින ක්‍රීඩකයා ලෙසිනි.

කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ පැවති තමාගේ මංගල ටෙස්ට් තරගයේ දී මහානාමට සිදු වුනේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නටය. නමුත් කිසිම දිනක ඔහු පාසල් මට්ටමෙන් හෝ ඉනිම ආරම්භ කර තිබුණේ නැත. නමුත් කවදත් ඉහළ කණ්ඩායම් හැඟීමක් තිබූ ක්‍රීඩකයෙකු වූ මහානාම එය අභියෝගයක් ලෙසින් භාර ගත්තේය.

එසේ අභියෝගය බාර ගත් මහානාම දිගු කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ චරිතයට පණ දුන්නේය. එහි දී ටෙස්ට් තරගවල දී ශතක 04කුත් එක්දින තරගවල දී ශතක 04කුත් රැස් කරගන්නට මහානාම සමත් වුනේය. 

එකල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයින්ට පන්දුවත් පිත්තත් එකලෙසින්ම හුරුව තිබුණේය. නමුත් වැඩි කාලයක් යන්නට මත්තෙන් තමාගේ පන්දු යැවීමේ හැකියාව එතරම් උසස් මට්ටමක නැති බව මහානාම වටහා ගත්තේය. ඒ වෙනුවට කණ්ඩායමට දායකත්වයක් දෙන්නට ඔහු වෙනත් ක්‍රමයක් සොයා ගත්තේය. පන්දු රැකීමට වැඩි අවධානයක් දෙන්නටත් නිරන්තරයෙන් පන්දු රැකීමේ අභ්‍යාස වල යෙදෙන්නටත් ඔහු වඩ වඩාත් උත්සුක වුනේය.

පන්දු රැකීම, ශරීර යෝග්‍යතාව වැනි කාරණා සම්බන්ධයෙන් ඉහළ බරක් නොතැබූ මෙන්ම තාක්ෂණය එතරම් නොදියුණු කලෙක ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පන්දු රකින්නා ලෙස රොෂාන් මහානාම හඳුන්වන්නට හැකිය. එමෙන්ම පිටියේ ඕනෑම තැනක පන්දු රකින්නට මහානාම අතිදක්ෂයෙකි.

මහානාමගේ දණහිස්වල ඇතිව තිබූ ආබාධයක් ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාම ඔහුට මහත් හිසරදයක් වී තිබුණි. නමුත් ඒ සියල්ල මැඩ පවත්වා ගනිමින් ඔහු ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු සතු සියල්ල ලබා දුන්නේය.

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි ……..

1995 වසරේ සාජා නුවර පැවති තුන්කොන් එක්දින තරගාවලිය රොෂාන් මහානාමගේ සුපිරි දක්ෂතා මතු වූ තරගාවලියක් විය. එකී තරගාවලියේ පිළිවෙළින් ලකුණු 101, 76, 45*, 66 ලෙස රැස් කළ මහානාම තරගාවලියේ වීරයා බවට පත්විය. 

ශ්‍රී ලංකාවෙන් පිටත දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ප්‍රධාන පෙළේ තරගාවලියක් ජය ගත් මුල්ම අවස්ථාව ද එය විය.  ශ්‍රී ලංකාව ලෝක තලයේ සුළුවෙන් තැකිය හැකි කණ්ඩායමක් නොවන බවට ලැබුණු පළමු ඉඟිය ද එය විය.

නමුත් කෙටි කලකින්ම ප්‍රවේගකාරී සනත් ජයසූරියට සහ රොමේෂ් කළුවිතාරණට ඉඩ කඩ ලබා දෙන්නට මහානාමට පිතිකරණ ලැයිස්තුවේ පල්ලම් බසින්නට සිදු විය. නමුත් ඒ සියල්ල ඔහු කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් නිහඬවම විඳ දරා ගත්තේය. 

මහානාමගේ ක්‍රිකට් දිවියේ උච්චතම අවස්ථාව ලෙස 1997 වසරේ සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව රැස් කරගත් ද්විත්ව ශතකය හැඳින්විය හැක. මේ ඉනිමේ දී ඔහු සනත් ජයසූරිය සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 576ක අති දැවැන්ත සම්බන්ධතාවයක් එක් කරන්න සමත් වූ අතර එය ඒ වන විට ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම සම්බන්ධතාවය විය. 

එදා ජයසූරිය – මහානාම අතින් බිඳ වැටුණේ 1991 වසරේ මාටින් ක්‍රෝ සහ ඇන්ඩෲ ජෝන්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 467ක සම්බන්ධතාවයයි. පසුකලෙක ජයසූරිය – මහානාමගේ වාර්තාව සිංහල සමාජ ක්‍රීඩා පිටියේ දී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අතින් බිඳ වැටුණි.

එම ඉනිමේ දී සිය ඉහළතම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 225ක් රැස් කර ගත් මහානාම එදා පන්දුවට දෙන්නට පිටිය මැදට ගියේ තේරීම් කමිටුව එල්ල කළ දැඩි මානසික පීඩා හමුවේ බව ඔහු සිය චරිතාපදානයේ එක් තැනක පවසයි.

1999 ලෝක කුසලාන තරගාවලියේ දී එවකට ලෝක ශූරයින් වූ  ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් යහපත් තරගාවලියක් වූයේ නැත. අනාගතය උදෙසා නව කණ්ඩායමක් බිහි කිරීමට එවක මෙරට සිටි ක්‍රිකට් පරිපාලකයින්ට අවශ්‍ය විය. මේ හේතුවෙන් බොහෝමයක් පරිණත ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ දොර වැසුණි. තේරීම් කමිටුවේ කතුරට අසුවූ ක්‍රීඩකයින් අතර රොෂාන් මහානාමත් එක් අයෙක් විය.

බොහෝ ආසියානුකරයේ ක්‍රීඩකයින්ට තමන් කෙතරම් ක්‍රීඩාවට සේවයක් කලත් තමන්ගේ රටේ ප්‍රේක්ෂකයන් ඉදිරිපිට සමුගැනීමේ තරඟයක් ලැබෙන්නේ නැත. රොෂාන් මහානාමත් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් අයෙකි.

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ ……………….

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ තරමක වේදනාවක් හිතේ කරපින්නාගෙනය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් කෙටි කලකට පසුව ඔහු තමන්ගේ චරිතාපදානය එළි දක්වන ඔහු එය නම් කරන්නේ “Retired Hurt” (වේදනාත්මක සමුගැනීම) නමිනි.

2004 වසරේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙකු ලෙස සේවය ආරම්භ කරන මහානාම 2015 වසරේ එම තනතුරින් ඉවත් විය. ක්‍රීඩා කරන සමයේ දී මෙන්ම තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ දී පවා උසස් මහත්මා ගති ආරක්ෂා කරගත්තෙකු ලෙස මහානාම හැඳින්වීමට පුළුවන. ක්‍රීඩා කළ සමයේ තමන් නියෝජනය කළ ඕනෑම කණ්ඩායමට හැකි උපරිමය දුන් ක්‍රීඩකයෙකු ලෙසත් රොෂාන් මහානාම හැඳින්වීමට හැකිය.

විනය, මහත්මා ගරුකව ක්‍රීඩා කිරීම මූලික තේමාව කරගත් අතිශය රමණීය විලාශයකින් ක්‍රීඩාවේ යෙදුණ රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පහළ වූ පතාක යෝධයෙකු බව නොකියාම බැරිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<