විවාදාත්මක විනිසුරු තීරණ කිහිපයකට එරෙහිව නැගුණු හඬ මධ්‍යයේ ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග අද (05) කොළඹ MAS රාජකීය බොක්සිං මණ්ඩපයේදී පැවැත්විණි.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං සංචිතය තෝරාගැනීමේ පෙරහුරුවක් ලෙසද සැලකෙන බැවින් ක්‍රීඩකයන්ටත්, පුහුණුකරුවන්ටත්, ශ්‍රී ලාංකික අපටත් වැදගත් තරගාවලියක් ලෙස සැලකිය යුතු නමුත් අද දිනය තුළදී ලැබුණු විනිසුරු තීරණ 6ක් පමණ නරඹන්නන් විසින් විවාදයට බඳුන් කරනු ලැබුවා පමණක් නොව තත්වය ගැටුමකින් මෙහා සමථයකට පත්වූයේ යාන්තමිනි.

කි.ග්‍රෑම් 60, කාන්තා ලයිට් වෙයිට් බරපන්තිය නියෝජනය කළ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ සිතාරි සඳරේඛා සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. මධුවන්ති අතර අවසන් පූර්ව තරගය තුළදී දෙදෙනාම දස්කම් අතරට පැමිණියත් පළමු වට දෙක තුළදීම මධුවන්ති අඟලක ඉදිරියක් ලබා සිටි බව තරගය නැරඹූ බොහෝදෙනාගේ මතය විය. එහෙත් ජූරියේ 5-0ක තීරණයකින් ජය හිමිවූයේ සඳරේඛාටයි.

කි.ග්‍රෑම් 60, පිරිමි ලයිට් වෙයිට් බරපන්තිය තුළ සටන් වැදුණු යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. චන්ද්‍රබණ්ඩාර සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. ජයවීර අතර තරගයේ මුල සිටම ජයවීරට ප්‍රබල අභියෝගයක් වන්නට චන්ද්‍රබණ්ඩාර සමත් විය. ඇතැම් අවස්ථාවලදී ජයවීර පසුබසිනු පැහැදිලිවම දැකිය හැකි වූ නමුත් ජූරිය විසින් 3-2ක තීරණයක් ලබාදී ජයවීරව ජයග්‍රාහකයා කළ අතර නරඹන්නන්ගේ හූ හඬට ලක්වීමට විනිසුරුවන්ට සිදුවූයේ ඉන් පසුවයි.

කි.ග්‍රෑම් 60, පිරිමි ලයිට් වෙයිට් දෙවන අවසන් පූර්ව තරගය සඳහා එක්ව සිටියේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ විමුක්ති කුමාර සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ භානුක ජයම්පති ය. විමුක්තිගේ වේගය සහ අත්දැකීම් බහුල භාවය හමුවේ ජයම්පතිගේ ශක්තිය කෙමෙන් හීන වූ අතර විමුක්තිට ජය ලැබුණේ යාන්තමින් ජූරි තීරණ 3-2ක් ලෙසයි. එය ඊට වඩා පැහැදිලි ජයක් යැයි තර්ක කරන්නට කෙනෙකුට ඉඩ තිබෙන නමුත් කෙසේ හෝ විමුක්ති ජය ලැබීම සතුටුදායී විය.

කි.ග්‍රෑම් 69, පිරිමි වෙල්ටර් වෙයිට් බරපන්තිය වෙනුවෙන් පැවති එක් අවසන් පූර්ව තරගයකදී නරඹන්නන්ගේ ඉවසීමේ සීමාව එපිට පනින මට්ටමට පැමිණියේ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ එස්. රූපසිංහ විසින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අයි. රාජපක්ෂ වෙත දිගින් දිගටම එල්ලකළ පහරවල් වල සාර්ථකත්වය යම් හේතුවක් නිසා විනිසුරුවන්ට නොපෙනීම නිසයි. ප්‍රතිවාදියාව බිමහෙලීම් දෙකක්ද සමඟින් එම තරගය පැහැදිලිවම තමන් වෙත නතුකරගන්නට රූපසිංහ සමත්ව සිටියත් ජූරියේ තීරණය වූයේ 3-2ක් ලෙස රාජපක්ෂ ජයගත් බවයි.

ඉන් පසුව යුධ හමුදා ප්‍රේක්ෂකයන් විනිසුරුවන් වෙත තම විරෝධත්වය පෑ අතර ඊට සම්බන්ධ වීමට තවත් පාර්ශවයන් කිහිපයක් උත්සාහ දැරීම නිසා තත්වය උණුසුම් විය. එහෙත් යුධ හමුදා බොක්සිං පුහුණුකරුවන්ගේ දායකත්වයෙන් තත්වය සමථයකට පත්විය.

කි.ග්‍රෑම් 75, පිරිමි මිඩ්ල් වෙයිට් බරපන්තිය වෙනුවෙන් පැවති, යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. දිවාරත්න සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. හීල්බත්දෙණිය අතර තරගයේදීද එවන් තීරණයකින් හීල්බත්දෙණියට ජයලබාදීමට ජූරිය තීරණය කළේ ඔහු තුවාල ලබා තිබීම හේතුවෙනි. එහෙත් එම තුවාලය මෙම තරගයට පෙර සිදුවී තිබීම නිසා යළිත් විවාදාත්මක තත්වයක් ඇතිවිය.

කි.ග්‍රෑම් 91,පිරිමි හෙවිවෙයිට් බරපන්තිය වෙනුවෙන් පැවති එක් අවසන් පූර්ව තරගයකදී යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජයවීර සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඉමේෂ් අබේසිංහ තරග වැදුණු අතර 3-2ක අපැහැදිලි තීරණයකින් අබේසිංහට ජය ලැබිණි.

මෙසේ අපැහැදිලි තීන්දු තීරණ ලබාදීමෙන් සිදුවන්නේ මේ මොහොතේ මෙරට සිටින දක්ෂතම බොක්සිං ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර වරම් අහිමිව යාමයි. එමෙන්ම තරුණ ක්‍රීඩකයන්ගේ බොක්සිං උනන්දුවද මෙවැනි තත්වයන් යටතේ බාල විය හැකි අතර ඇතැමෙකු සදහටම කලකිරීමෙන් ශ්‍රී ලංකාවට බොක්සිං පදක්කම් රැසක් අහිමි වීමද සිදුවිය හැකියි. එබැවින් මේ පිළිබඳ යම් පැහැදිලි සහ නිරවද්‍ය සම්මතයන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය ThePapare.com අපි අවධාරණය කරන්නෙමු.

දිනය තුළ පැවති අනෙකුත් තරගවල ජයග්‍රාහකයන් මෙසේයි.

කාන්තා, කි.ග්‍රෑම් 48 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

ජී. ද සිල්වා – හෙළ ක්ලෝදින්

කේ. නිල්මිණි – MAS යුනිචෙලා

කාන්තා, කි. ග්‍රෑම් 54 බැන්ටම් වෙයිට් බරපන්තිය

එස්. තල්ගස්පිටිය – MAS යුනිචෙලා

එස්. කුරේ – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කාන්තා, කි.ග්‍රෑම් 60, ලයිට් වෙයිට් බරපන්තිය

කේ. සඳමාලි – පොලිස් ක්‍රීඩා සමාජය

කාන්තා, කි.ග්‍රෑම් 69, වෙල්ටර් වෙයිට් බරපන්තිය

එන්. ධර්මසේන – හෙළ ක්ලෝදින්

එන්. ජයවීර – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

එම්. ප්‍රභාශ්වර – ස්ලිම්ලයින්

අයි. වර්ණසූරිය – හෙළ ක්ලෝදින්

පිරිමි, කි.ග්‍රෑම් 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

එස්. කුමාරසිංහ – නාවික හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 81 ලයිට් හෙවිවෙයිට් බරපන්තිය

එස්. බණ්ඩාර – යුධ හමුදා ක්‍රීඩා සමාජය

එන්. ප්‍රනාන්දු – නාවික හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 91+ සුපර් හෙවිවෙයිට් බරපන්තිය

ඊ. තිලකරත්න – යුධ හමුදා ක්‍රීඩා සමාජය

එම්. මීගස්තැන්න – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කාන්තා, කි.ග්‍රෑම් 51 ෆ්ලයි වෙයිට් බරපන්තිය

ඩී. ජයසිංහ – MAS යුනිචෙලා

ටී. පෙරේරා – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කාන්තා, කි.ග්‍රෑම් 57 ෆෙදර් වෙයිට් බරපන්තිය

ආර්. මෙන්ඩිස් – කැෂුවල් ලයින්

කේ. හංසිකා – MAS යුනිචෙලා

කාන්තා, කි.ග්‍රෑම් 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

ඩී. සිල්වා – MAS ලීනියා

එල්. උදයන්ගනී – MAS යුනිචෙලා

කාන්තා, කි.ග්‍රෑම් 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

කේ. සුමුදු – යුධ හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

එස්. රණසිංහ – හෙළ ක්ලෝදින්

පී. ධර්මසේන – යුධ හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

නුවන් අමරවංශ – ස්ලිම්ලයින්

කසුන් මධුරංග – හෙළ ක්ලෝදින්

පිරිමි, කි.ග්‍රෑම් 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

සී. උදයකුමාර – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

බී. රාජකරුණා – යුධ හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

ආර්. කුමාර – නාවික හමුදා ක්‍රීඩා සමාජය

පිරිමි, කි.ග්‍රෑම් 91 හෙවිවෙයිට් බරපන්තිය

පී. ජයසේන – යුධ හමුදා ක්‍රීඩා සමාජය

දින 4ක් පුරා පැවති තරගාවලියේ අවසන් මහා තරග හෙට (07) සවස 3.00 සිට කොළඹ MAS රාජකීය බොක්සිං කවයේදී පැවැත්වේ.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට