මාලිංග හෙට තරගෙට නැහැ

401

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (2) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත දෙවන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

“එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 300ක් ආසන්නයේ සිටින මාලිංග හට වෛරස් උණක් ආසාදනය වී තිබීම නිසාවෙන් හෙට තරගයට ඔහු සහභාගි නොවන අතර, වෛද්‍යවරුන් විසින් පැවසුවේ මාලිංගට පැය 48ක කාලයක විවේකයක් ලබා දිය යුතු බවයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය.

වාර්තාගත ජයක් සමඟින් සිම්බාවේ කණ්ඩායම සිංහයන් හඬවයි

ශ්‍රී ලංකා පොළොව මත දී ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා ගොස් එක්දින තරගයක් ජය ගන්නට ලොව..

මාලිංග හට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කඩුලු 300ක් සනිටුහන් කර ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 5ක් පමණක් වන අතර, ඔහු එම කඩඉම පසු කළහොත් එම කඩඉම පසුකළ 4 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට ඔහුට හැකියාව ඇත. මීට පෙර මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, සනත් ජයසූරිය විසින් එම දස්කම දක්වා ඇත.

ඊයේ (30) අවසන් වූ පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර, එම තරගයේ දී මාලිංග විසින් පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 50ක් සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දෙන ලද්දේ, හැමිල්ටන් මසකඩ්සාගේ කඩුල්ලට ද හිමිකම් කියමිනි.

මාලිංග හෙට තරගය සඳහා සහභාගි නොවන නිසා එ් වෙනුවෙන් දුශ්මන්ත චමීර බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කරනු ඇත.

මාලිංග මාස කිහිපයක දැඩි නිහැඬියාවකින් අනතුරුව ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ අතර, එතැන් සිට පැවැත්වූ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 4ක් තුල උඩ පන්දු 3ක් ඔහුගේ අතින් ගිලිහී ඇත. ඒ අතරට ඊයේ තරගයේ දී සොලමන් මීරේ විසින් ලබා දුන් උඩ පන්දුව ද ඇතුලත්ය.

මාලිංග හට මෙම තරගාවලියම මඟ හැරී ගියහොත් ඒ වෙනුවෙන් සුරංග ලක්මාල් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

එසේම නිමා වූ තරගයේ දී පන්දුවාර 8යි පන්දු 4ක් තුල ලකුණු 77ක් ලබා දෙමින් අමිල අපෝන්සු දැඩි ප්‍රහාරයකට ලක් වූ නිසා, 26 හැවිරිදි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් හෙට තරගයට බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට