ලංකා ලයන්ස් හමුවේ ලෝන්ග් පවර් බල රහිත වේ

243

ලෝන්ග් පවර් වොලිබෝල් ක්‍රීඩා සමාජය වට 3-0ක් ලෙස පරාජය කළ ලංකා ලයන්ස් කණ්ඩායම 2018 ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවයේ හත්වැනි ස්ථානය දිනා ගන්නා ලදි.

Lanka Lions lose to Atyrau & Toray Arrows

Lanka Lions went down fighting against Atyrau & Toray Arrows..

ලෝන්ග් පවර් කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දුන් ලංකා ලයන්ස් කණ්ඩායම 25-23, 25-22, 26-24ක් ලෙස පළමු වට තුනම ජයගෙන තරගය තමන් සතුකර ගැනීමට සමත් විය.

Nay Pyi Taw හිදී හත්වැනි ස්ථානය සඳහා සඳහා වූ තරගය පැවැත්වුණු අතර පසුගිය වසරේ දක්ෂතාවලට වඩා සුපිරි දක්ෂතා පෙන්වමින් පසුගිය වසරේ 11 වන ස්ථානයෙන් මිදී මෙවර තරගාවලියේ 7වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ජනිත සුරත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් ලකුණු 21ක් රැස් කළ අතර එයට ප්‍රහාරයන් 18ක් හා වැළැක්වීම් තුනක් අන්තර්ගත විය. ලෝන්ග් පවර් කණ්ඩායම වෙනුවෙන් Shih-Hao ලකුණු 12ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සිටම තරගය සිය ග්‍රහණයට ගත් අතර දීප්ති රොමේෂ්ගේ හා ලසිඳු මෙත්මල්ගේ ප්‍රබල ප්‍රහාරයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ දී ම ලකුණු හතරක වාසියකින් ඉදිරියේ සිටින්නට සමත් විය.

කෙසේ වෙතත් ප්‍රතිවාදීන් ද වටය අත්නොහරිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පසුපසින්ම පැමිණි අතර ලකුණු 21-21ක් ලෙස ලකුණු සමවීමත් සමඟ සිය ආරක්ෂාව තර කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් ලකුණු කිහිපය ඉක්මනින් ලබාගෙන ලකුණු 25-23ක් ලෙස පළමු වටය ජය ගන්නට සමත් වූහ.

කණ්ඩායම් දෙක ආක්‍රමණශීලී ලෙස දෙවන වටය ආරම්භ කළ අතර දීප්ති, ලසිඳු, සහ ශාමිල්ගේ  ප්‍රබල ප්‍රහාරයන් හා ශාමිල්ගේ හා වසන්තගේ දක්ෂ ආවරණ හමුවේ දෙවන වටයේ ජය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

Read More: Mercantile Volleyball to hit the courts this September

දෙවන වටයේ දී Pan Chun-Ju හා Huang Shih-Haoගේ ක්‍රීඩා විලාසය නිසා ලෝන්ග් පවර් කණ්ඩායම දිගින් දිගටම තරගයේ රැඳී සිටි අතර එක ලකුණක වාසියේ සිට (19-18) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතා ඉක්මනින් ලකුණු තත්වය 24-20ක් දක්වා ගෙනවිත් තරගය ජය ගත්තේ අවසන් ලකුණු 25-22ක් ලෙසය.

තෙවන වටයේ ද ජයග්‍රාහි මානසිකත්වයකින් තරගයට අවතීර්ණ වූ ලංකා ලයන්ස් ක්‍රීඩකයෝ ලකුණු 12-07ක් ලෙස ලකුණු පහක වාසියක් අත්කර ගැනීමට සමත් වූ නමුත් සාර්ථක පිරිනැමීම් හා දක්ෂතා ආවරණ සමගින් ලකුණු තත්වය 15-14ක් බවට පත් කර ගැනීමට ලෝන්ග් පවර් ක්‍රීඩකයෝ සමත් වූහ.  

ලකුණු 24-24ක් දක්වා තියුණු මුහුණුවරකින් තරගය කරට කර ඉදිරියට ඇදී ගිය අතර ඉතිරි ලකුණු දෙක ඉක්මනින්ම ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවන වටය ලකුණු 26-24ක් ලෙස ජය ගෙන තරගයේ හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

“හත්වන ස්ථානය දිනා ගැනීමට ලැබීම සතුටක්, අවසන් පූර්ව වටයෙන් පසු මම අතිරේක ක්‍රීඩකයින් ක්‍රීඩා කරවලා බැලුවා, ඒ ලබන මාසයේ ක්‍රීඩකයින් බොහොමයක් AVC අභියෝගතා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන නිසයි, මම මේ ප්‍රතිඵලය ගැන බොහොම සතුටුයි” ලංකා ලයන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Dejan Vulicevic තරගයෙන් පසු අදහස් දැක්වීය.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<