ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා විවෘත මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (16) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අවසන් විය.

ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් අඛණ්ඩව 19 වන වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය වයස අවුරුදු 14න්, 16න්, 18න් සහ 20න් පහළ සහ විවෘත යන වයස් කාණ්ඩ පහ යටතේ පැවැත්විය.

ලංකා ලයන්ස් මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වේ

ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා විවෘත මලල ක්‍රීඩා තරගාවලිය…

ඒ අනුව තරගාවලිය සඳහා දිවයින පුරා ඇති පාසල්, විශ්ව විද්‍යාල සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ දිනයේ දී ඉසව් රැසක අවසන් තරග පවත්වන ලදි.

තරගාවලිය අවසානයේ නව තරග වාර්තා 5ක් බිහිවෙද්දී, තවත් තරග වාර්තා 3ක් සම කරන්නට තරග කරනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ අනුව වයස අවුරුදු 14න් පහළ මීටර 200 කාන්තා තරග ඉසව්ව සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ දුල්මි රුවන්සා වීරක්කොඩි තත්පර 27.2කින් තරගය නිමා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ නව තරග වාර්තාවක් ද බිහි කරමිනි.

එමෙන්ම වයස අවුරුදු 16න් පහළ මීටර 100 හා 200 කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ සදීපා හෙන්ඩර්සන් එම ඉසව් දෙකම අවසන් කළේ නව තරග වාර්තා දෙකක් බිහි කරමිනි. ඒ මීටර 100 ඉසව්ව තත්පර 12.3කින් සහ මීටර 200 ඉසව්ව තත්පර 26.0කින් අවසන් කරමිනි.

ඊට අමතරව එම වයස් කාණ්ඩයේම මීටර 800 කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ ශානිකා ලක්ෂානි එම ඉසව්ව මිනිත්තු 2:19.5කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර විවෘත කාන්තා අංශයේ යගුලිය දැමීමේ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් පී. ඒ. ප්‍රියංගිකා කුමාරි මීටර 11.16ක දක්ෂතාවක් දක්වමින් තරගාවලියේ අවසන් නව තරග වාර්තාව බිහි කරනු ලැබීය.

සමස්ත තරගාවලියේ එක් එක් වයස් කාණ්ඩවල දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තරගාවලිය අවසානයේ දී සම්මාන පිරිනමන ලදි.

විශේෂ සම්මාන  

සුගත් තිලකරත්න අභියෝගතා කුසලානය – වයස අවුරුදු 14 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා

උදිල් විද්සරිත් සිප්මාල් – ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය – උස පැනීම – මීටර 1.70 (EMR)

දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය – වයස අවුරුදු 14 න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව

දුල්මි රුවන්සා වීරක්කොඩි – කොළඹ දිස්ත්‍රික්කය – මීටර 200 – තත්පර 27.2 (NMR)

ඊ. කේ. ඩබ්. ගුණවර්ධන අනුස්මරණ අභියෝගතා කුසලානය – වයස අවුරුදු 16 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා

පී. ඩබ්. ඒ. දිනුර ජයලත් – ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජය, ගම්පහ – උස පැනීම – මීටර 1.80

රමණි මංගලිකා අභියෝගතා කුසලානය – වයස අවුරුදු 16 න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව

සදීපා හෙන්රි හෙන්ඩර්සන් – ගේට්වේ විද්‍යාලය, කොළඹ – මීටර 100 – තත්පර 12.3 (NMR)

එස්. එල්. බී. රෝසා අභියෝගතා කුසලානය – වයස අවුරුදු 18 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා

වයි. ජී. සඳුන් ක්‍රිෂාන්ත – ශ්‍රී ශක්ති ක්‍රීඩා සමාජය, ගම්පහ – තුන් පිම්ම – මීටර 14.05

ලීනස් ඩයස් අනුස්මරණ අභියෝගතා කුසලානය – වයස අවුරුදු 18 න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව

ලීස හැරිජ් – රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසැල, කොළඹ – මීටර 100 – තත්පර 13.1

පී. දොන් වික්ටර් අභියෝගතා කුසලානය – වයස අවුරුදු 20 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා

එච්. ඩී. චමිඳු ප්‍රභාත් – කොළඹ දිස්ත්‍රික්කය – මීටර 200 – තත්පර 21.9

බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රනාන්දු අභියෝගතා කුසලානය – වයස අවුරුදු 20 න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව

පූර්ණිමා ගුණරත්න – කළුතර දිස්ත්‍රික්කය – උස පැනීම – මීටර 1.70 (EMR)

ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස අභියෝගතා කුසලානය (විවෘත අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා) සහ නාගලිංගම් එදිරිවීරසිංහම් අභියෝගතා කුසලානය (සමස්ත තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා)

යූ. පී. අතීත නිමක්ෂජ කරුණාසිංහ – යුද හමුදා ක්‍රීඩා සමාජය – තුන් පිම්ම – මීටර 15.69

එස්. එස්. ඒ දිසානායක අභියෝගතා කුසලානය (විවෘත අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව) සහ නිර්මලා දිසානායක අභියෝගතා කුසලානය (සමස්ත තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව)

අංජලී පුල්වංස – කොළඹ දිස්ත්‍රික්කය – දුර පැනීම – මීටර 5.90

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<