ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පිලේ නායකත්වය ලහිරු තිරිමාන්නට

1609

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර හෙට (21) ආරම්භ වීමට නියමිත පුහුණු තරගයේ ශ්‍රී ලංකා සංචිතය අද (20) ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් මාධ්‍යයට අනාවරණය කරන ලදි.

රංගනට උසස් වීමක්

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සිදු වූ නවතම වෙනස්කම්වලට අනුව රවිචන්ද්‍රන් අශ්වින්ව පසුකරමින් …..

සංචිතය ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි නායකත්වය දීප්තිමත් වමත් පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න හට පැවරී ඇත. මෙම සංචිතය සඳහා පිතිකරුවන් 8 දෙනෙකු ඇතුළත් අතර, වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු හා දඟපන්දු යවන්නන් දෙනෙකු ද සංචිතයට ඇතුළත්ය. තිරිමාන්න අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වර්ෂයේ ජුනි මාසයේ දී පැවැත්වූ එංගලන්ත සංචාරයේ දී ය. යොවුන් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි කඩුලු රකින්නා ලෙස මෙම සංචිතයේ ක්‍රීඩා කරයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ලෙස ධනුෂ්ක ගුණතිලක හා කෞෂාල් සිල්වා කටයුතු කරයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කළ දකුණත් පිතිකරු කෞෂාල් සිල්වා නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේ ඉනිම 6ක් තුළ රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි. නිමා වූ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා සංචිතයේ මැදපෙළ ශක්තිමත් කිරීමේ අරමුණින් සංචිතයට කැඳවා තිබේ.

2015 වර්ෂයේ දී පැවැත්වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල් එම තරගාවලියේ දී කඩුලු 13ක් දවා ගැනීමට සමත්වීම විශේෂ දස්කමක් විය. එම සංචාරයේ තෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරිඳුගේ දුස්රා පන්දුව තහනම් කළේ පන්දුව යැවීමේ දී ඔහුගේ වැළමිට නියමිත අංශක ප්‍රමාණය (15) ඉක්මවා යාම නිසාවෙනි. ඒ සම්බන්ධව පැවැත්වූ පරීක්ෂණයේ දී ඔහු යැවූ පන්දු 18න් 9ක්ම එම නියමිත අංශක ප්‍රමාණය ඉක්මවා ගොස් තිබුණු බව අනාවරණය විය.

මෙම තරගය ජුලි 21 හා 22 යන දෙදින කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සංචිතය – ලහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, රොශේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන, සඳුන් වීරක්කොඩි, කිත්රැවන් විතානගේ, කසුන් රාජිත, ලහිරු ගමගේ, විකුම් සංජය, විශ්ව ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, තරිඳු කෞෂාල්.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට