ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ග්‍රැහැම් ලැබ්රෝයිගේ නායකත්වය යටතේ නිලධාරීන් 05 දෙනෙකුගෙන් සමන්විත නව තේරීම් කමිටුව නම් කිරීමේ සූදානමින් පසුවන බවට වාර්තා වේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි මහතාව නම් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තෝරා අවසන් කිරීම සඳහා මෙම පත්කිරීම සිදු කෙරෙනු ඇත.

සංගාගෙන් තවත් දස්කමක්

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, සරේ කණ්ඩායම හා…

ඉන්දියාව සමඟ පැවති තරගාවලියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරග 9ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ අතර ඒ අනුව සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව සිය ධූරවලින් ඉවත් වීම නිසා තේරීම් කමිටුවේ සිදු වූ පුරප්පාඩුව පිරවීමට මෙම පත්කිරීම් සිදු කෙරෙනු ඇත.

පාකිස්තාන කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරගාවලිය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් සහ පන්දුවාර 20 තරග 3කින් සමන්විත වන අතර එහි දී අවසන් පන්දුවාර 20 තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ය.

මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම නියෝජනය කළ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන ලැබ්රෝයි මහතා 1986 සිට 1992 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 9කට සහ එක්දින තරග 44කට සහභාගී වී ඇත. ඔහු මේ වන විට ICC හි කලාපීය (ආසියාව) තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය බාර ගන්නේ නම් ඔහුට එම ධූරයෙන් ඉවත් වීමට සිදු වනු ඇත.

අත්දැකීම් සහිත පුහුණුකරුවෙකු සහ පරිපාලකයෙකු වන ජයන්ත සෙනෙවිරත්නගේ සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන මලින්ද වර්ණපුරගේ නම් තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කර ඇති අතර තවදුරටත් මීට පෙර සිටි තේරීම් කමිටුවේ ද සාමාජිකත්වය දැරූ එරික් උපශාන්ත සහ රංජිත් මදුරුසිංහගේ නම් ද ඒ සමඟ යෝජනා වී ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට