හෂිනිට සහ අශ්රෆ්ට රන් පදක්කම්

333

ඊයේ කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවර දී ආරම්භ වූ කිර්ගිස්ථාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වූ හෂිනි බාලසූරිය සහ ධාවන ක්‍රීඩක මොහොමඩ් අශ්රෆ් සමත් විය.

කිර්ගිස්තානයට ශ්‍රී ලංකාවෙන් 8ක්

කිර්ගිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

තුන් පිම්ම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවට හිමිකම් කියන විදූෂා ලක්ෂානි සමඟ පුහුණුවීම් කටයුතුවල නිරත වන හෂිනි, මෙහි දී මීටර 12.93ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඊට අමතරව පිරිමි මීටර 100 ඉසව්ව සඳහා සහභාගී වූ මොහොමඩ් අශ්රෆ් තත්පර 10.51කින් තරගය අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේය. එය, ඉසව්ව අවසන් කිරීම සඳහා ඔහු මෙවර තරග වාරයේ දී වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් විය.

ThePapare.com සමඟින් අදහස් දක්වමින් අශ්රෆ් පවසා සිටියේ මෙම තරග වාරයේ දී සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය මෙම තරගාවලියේ දී වාර්තා කරන්නට හැකි වීම පිළිබඳ තමන් සතුටුවන බවයි.

“මේ කාළයත් සමඟ මට හිතෙනවා මම හොඳ මට්ටමක මේ වන විට ඉන්නවා කියලා. අපිට තියෙන මීළඟ අභියෝගය තමයි ඉන්දියාවේ පවත්වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහණය කරමින් ලෝක මලල ක්‍රීඩා තරගාවලිය සඳහා පිවිසීම” යැයි ඔහු වැඩිදුරටත් අප සමඟින් පැවසීය.

පිරිමි තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වූ අතීත කරුණාසිංහ ද මීටර 15.74 ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කියන්නට සමත් විය.

තරගාවලියේ අවසන් දිනය අදයි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට