කුසල් මෙන්ඩිස් සමරවීරට තෑග්ගක් දෙන්න සැරසේ

1537
Image Courtesy: LightRocket/Getty Images

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරයට සමුදීමට නියමිත තිලාන් සමරවීරට ගෞරවයක් ලෙස මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ පස්වැනි හා අවසන් දිනයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් පවසා ඇත.

මෙන්ඩිස් හා මැතිව්ස් ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වති

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (18) අවසන් වනවිට ඊයේ…..

වසරක කාලයක් සඳහා එම ධූරය හෙබවූ සමරවීර මෙම ටෙස්ට් තරගාවලිය අවසානයේ සිය ධූරයට සමුදීමට නියමිත අතර ඉන් අනතුරුව ‘Durham’ කණ්ඩායමේ පුහුණුකාර ධූරය හෙබවූ ජෝන් ලුවිස් එම ධූරයේ වැඩ බාර ගනු ඇත. කුසල් පසුගිය කාලය පුරාවට ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ අතර ඒ අනුව පසුගිය ජුනි මාසයේ මැද භාගයේ සිට නොවැම්බර් මස මැද භාගය දක්වා ඔහු ක්‍රීඩා කළ ඉනිම් 23 දී ඔහු රැස්කර ගැනීමට සමත් වූයේ එක් අර්ධ ශතකයක් පමණි. කෙසේ නමුත් ඔහුට නැවතත් දක්‍ෂතා අතරට පැමිණීමට සමරවීර බෙහෙවින් උදව් කළ බව ඔහු පැවසීය.

“මම තිලාන් අයියාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මම පසුගිය මාස කිහිපය තුළ ගොඩක් අඩු දක්‍ෂතාවල සිටියේ. මම එක්දින තරග 15ක දී විතර අසාර්ථක වුනා. නමුත් පුහුණුකරු (චන්දික හතුරුසිංහ) සහ තිලාන් අයියා මාව කණ්ඩායමෙන් ඉවත් කරන්න ප්‍රතික්‍ෂේප කළා. ඔවුන් මට නැවතත් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා මට අද මේ තත්වයට එන්න පුළුවන් වුණේ ඔවුන් දෙදෙනා මං ගැන තබපු විශ්වාසය නිසා. ඊළඟ තරගයෙන් පස්සේ තිලාන් අයියා ඉවත් වෙනවා. නමුත් මම ඔහුට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මට අද මේ වගේ දක්ෂතාවයක් දක්වන්න පුළුවන් වුණේ ඔවුන් දෙදෙනා නිසා.” වෙලිංටන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය පුරාවට පිතිකරණයේ නියැලීමෙන් අනතුරුව අදහස් දක්වමින් කුසල් පැවසීය.    

ලහිරු කුමාරට නැවතත් වැඩ වැරදි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතය නියෝජනය…..

එමෙන්ම කුසල් මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ධූරයක් බාරගැනීමටත් පෙර සිට සමරවීර ඔහුගේ ක්‍රිකට් දිවිය පිළිබඳව සැලකිලිමත් වූ බවයි. 2017 වසරේ මුල් භාගයේ දී සමරවීර කෙටි කාලයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිය දී බංග්ලාදේශ කණ්ඩායම සමඟ ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගයක දී කුසල් ලකුණු 196කට දැවී ගියේ ද්විත්ව ශතකය පෙනෙන මානයක තිබිය දී ය. එම අවස්ථාවේ දී සමරවීර ප්‍රතිවාදී කණ්ඩායමේ පුහුණුකරුව සිටියත් ඔහු කුසල්ට උපදෙස් ලබා දී ඇත.

“මට මතකයි එක් අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ දී මම ලකුණු 196කට දැවී ගියා. එතකොට තිලාන් අයියා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියේ. නමුත් ඔහු මට පවසා සිටියා: “ඔයාට පස්සේ තේරෙයි ඔයා මොකක්ද කළේ කියලා. ඔයාට ඊට වඩා ලොකු දක්ෂතාවයක් තියෙනවා. මේ වගේ තරුණ වයසක දී ද්විත්ව ශතකයක් වාර්තා කරන්න පුළුවන් කියන්නේ ඔයාට ලොකු අනාගතයක් තියෙනවා.” කියලා. ඊට පස්සේ තිලාන් අයියා අපේ පිතිකරණ පුහුණුකරු වෙලා ඉද්දිත් මට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් මඟහැරුණා (මෙම වසරේ මුල භාගයේ දී චිතගොන් හිදී රැස්කළ ලකුණු 194). ඒ අවස්ථාවේ දීත් ඔහු මට ඒ දේම කියා සිටියා.” කුසල් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

සණ්ඩු සරුවලේ – කන් කරච්චලේ – 01

බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට උළෙලකි. එය තරගකාරීත්වය, දස්කම් සහ ආන්දෝලනාත්මක සිදුවීම්ද සහිත ය……

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් පවසා සිටියේ තරගයේ පස්වැනි දිනයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කර ගැනීමට ඔහු දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවයි. ඒ අනුව හෙට (18) දිනයේ දී ඔහු ලකුණු 166 සිට සිය ඉනිම ආරම්භ කරනු ඇත.

“මෙම ටෙස්ට් තරගයට පෙර ඔහු මට කියා සිටියා: “මම යන්න කලින් ද්විත්ව ශතකයක් ගහන්න.” කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔහු වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කරන්න. ඔහු මට මේ දක්වා ගොඩක් උදව් කළා. කණ්ඩායමේ හැමෝම දන්නවා අපි හැමෝටම ඔහු කොහොමද උදව් කළේ කියලා. ක්‍රිකට් වටලා අදාළ දේවල්වල දී විතරක් නෙමෙයි, මගේ පෞද්ගලික ජීවිතයටත් ඔහු ගොඩක් උදව් කරලා තියෙනවා.” කුසල් අවසාන වශයෙන් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<