කුසල් එළියට, ධනංජය ඇතුලට

1572
Kusal Janith Perera ruled

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීම නිසාවෙන් ඒ සඳහා ධනංජය ද සිල්වා ආදේශ කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශූරයින්ගේ කුසලාන තාක්ෂණික අංශය මගින් අනුමැතිය හිමිව ඇත.

කුසල් පෙරේරා වෙනුවට වෙන කෙනෙක් එංගලන්තයට

ඊයේ දිනයේ (08) ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජය ගත් තරගය…

කුසල් පෙරේරාගේ පාදයේ කලව ප්‍රදේශයේ මෙම ආබාධ තත්ත්වය හට ගත්තේ පසුගිය 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එදිරිව කඩුලු 7කින් ජයග්‍රහණය සනිටුහන් කර ගත් තරගයේ දී ය. ඔහු මෙම තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර, තරගාවලියේ ආබාධයකට ලක් වූ සිව්වන ක්‍රීඩකයා විය. කුසල් ජනිත්ට අමතරව ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් වන්නේ, චාමර කපුගෙදර, එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් හා පකිස්තානු ක්‍රීඩක වහබ් රියාස් යන ක්‍රීඩකයින් ය.

වයස අවුරුදු 25ක් වන දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙක් මෙන්ම පිට දඟ පන්දු යවන්නෙක් වන ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇති අතර, ධනංජය දැනට ජාත්‍යන්තර එක්දින තරග 16කට තම දායකත්වය දක්වා ඇත. එහි දී පිතිකරණයෙන් ලකුණු 334ක් ලබා ගන්නා විට, පන්දු යැවීමෙන් කඩුලු 4ක් ද දවාලීමට සමත්ව ඇත. ඔහු මේ  වසරේ මුල පැවැත්වූ දකුණු අප්‍රිකානු සංචාරයේ දී අවසන් වරට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත.

මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික නිලධාරීන් ලෙස ජියොෆ් ඇලරඩිස් (අයි.සී.සී සභාපති), කැම්ප්බෙල් ජැමිසේන් (අයි.සී.සී නියෝජිත), ස්ටෙව් එල්වෝර්ති (තරගාවලි අධ්‍යක්ෂක), ඇලන් ෆෝර්ඩහම් (සත්කාරක රාජ්‍යයේ නියෝජිත) ක්‍රියා කරන අතර, ඊට අමතරව ස්වාධීන නියෝජිතවරුන් ලෙස සවුරෝ ගංගුලි හා මයිකල් සැලටර් ක්‍රියා කරනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේ සහභාගි වන අවසන් තරගය පකිස්තානය සමඟින් ලබන 12 වැනි සඳුදා වේල්සයේ කාර්ඩිෆ් හීදි පැවැත්වෙන අතර, එම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට යාමට අවස්ථාව ලබා දෙන දෙපිළටම වැදගත් තරගයකි. ඒ නිසාවෙන් එම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ලබන බව නම් නිසැකය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට