ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

2781
Kusal janith out, Amila Aponso in

පාදයේ ආබාධයකට ලක්ව සිටීම නිසා කුසල් ජනිත් පෙරේරා හට සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වන අතර වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු තරගාවලියේ ප්‍රථම එක්දින තරග දෙක සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කර ඇත.

පසුගිය දා අවසන් වූ එංගලන්තයේ දී පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හට සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලුම තරග අහිමි වනු ඇත.

“මායි මාලිංගයි අතර පෞද්ගලික තරහක් නැහැ” – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා…

වමත් පිතිකරුවෙකු වන කුසල් ජනිත් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟ තරග දෙකේ දී පිළිවෙළින් නොදැවී ලකුණු 44* සහ 47* බැගින් වාර්තා කිරීමට සමත් වූ අතර ඉන්දියාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඊළඟට පැවති පාකිස්ථානය සමඟ තරගය අහිමි විය. ඔහු වෙනුවට එම තරගයට ඇතුළත් කරනු ලැබුවේ ධනංජය ද සිල්වා යි.

සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රථම එක්දින තරග දෙක සඳහා නම් කළ සංචිතයට ඔහුව නම් කර නොතිබූ අතර කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කර සිටියේ මීළඟට පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ තරගාවලිය සඳහා ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි.

“කුසල්ට මුළු තරගාවලියම ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ. භෞතචිකිත්සකවරයාට අනුව ඔහු සුවය ලබන්න සති 8ත් 12 ත් අතර කාලයක් ගතවෙනවා. ඉන්දියාව සමඟ තරගාවලියටත් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතයි. ඒ නිසා ඔහු වෙත වැඩි අවධානයක් යොමු කළ යුතුයි.”

මෙම වසර මුලදී ද ශ්‍රී ලංකාවේ දී පැවති පුහුණු තරගයක් අතරතුර දී කුසල් මෙවන්ම ආබාධයකට ලක්වූ අතර එහි දී ද ඔහුට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය අහිමි විය. නමුත් සතියක පමණ කාලයක් ඇතුළත සුවය ලැබූ ඔහු එහි දී විස්සයි-විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කළේය.  

එමෙන්ම මෙම තරගාවලියේ පළමු එක්දින තරග දෙක සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ඇතුළත් කර ඇත.

ඒ අනුව අමිල අපෝන්සුගේ ඇතුළත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ගණන 14 දක්වා ඉහළ ගිය අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස් හට ඒ අනුව තෝරා ගැනීම සඳහා දඟ පන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක් සංචිතය තුළ සිටී.

“අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන් සහ අකිල ධනංජය යන අපිට සිටින දඟ පන්දු යවන ක්‍රීඩකයින් තිදෙනාම ඉතා දක්‍ෂ ක්‍රීඩකයින්. හෙට තරගයට පෙර පිටියේ තත්වය බලලා තරගයට ඇතුළත් කරන්නේ කවුද කියලා තීරණය කරනවා.”

පසුගිය වසරේ දී පැවති ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩා කරමින් අපෝන්සු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට පා තැබූ අතර එහි දී පැවති තරග පහම ක්‍රීඩා කරන්නට ඔහුට හැකියාව ලැබුණි. එම තරග පහේ දී ඔහු කඩුලු 7ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර එහි දී ඔහුගේ කඩුලු ලබාගැනීමේ සාමාන්‍ය 25.85ක් ලෙස සටහන් විය. එමෙන්ම තරගාවලියේ හොඳම ලකුණු ලබා දීමේ වේගය ඔහු විසින් වාර්තා කර ගත් අතර එය 4.17ක් ලෙස සටහන් විය.

ඔහු එම තරගාවලියේ දී මෙවන් ඉහළ දස්කමක් දැක්වුවත් ඉන් අනතුරුව පැවති එක්දින තරගාවලි 4ටම ඔහුව ඇතුළත් කිරීමක් සිදු නොවූ අතර ඊට හේතුව තවමත් ප්‍රශ්නාර්ථයක්ව පවතියි.

එම තරගාවලියෙන් අනතුරුව ඔහු මෙම වසරේ දී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරන ලදි. 24 හැවිරිදි අපෝන්සු මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ හිටපු ක්‍රිකට් නායකයෙකි. එමෙන්ම ඔහු මේ වන විට රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ කඩුලු 162ක් සහ සීමිත පන්දුවාර පළමු පෙළ කඩුලු 52ක් දවා ගැනීමට සමත්ව ඇත.   

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට