ශතක දෙකේ වීරයා ශ්‍රී ලංකාවට හිසරදයක් වන ලකුණු!

1026
Image - Fox Sports

කර්ටිස් පැටර්සන්, මීට දින කිහිපයකට පෙර නිමාවුණු සිංහ – කැන්ගරු තෙදින පුහුණු තරගය ගැන අවධානයෙන් සිටි ඔබට නම් මේ නම අමතක වන්නට හේතුවක් නැහැ. දිවා – රාත්‍රි තරගයක් ලෙසින් පැවති මෙම පුහුණු තරගය අතරතුරේ දී පැටර්සන් ඉනිම දෙකේ දී ම ශතක රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

විශේෂත්වය වන්නේ ඔහු මෙම ඉනිම දෙක පුරාවටම නොදැවී සිටිමින් මෙවන් දස්කමක් දැක්වීමයි. රෝස පැහැ පන්දුවට දිගට හරහට පහර දුන් ඔහු කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු තඹේකට මායිම් කළේ නැහැ.

ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි

ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ….

නමුත් ගැටලුව වුනේ මෙම 25 හැවිරිදි යෞවනයාව පුහුණු තරගය සඳහා කැඳවා තිබුනත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඔහුව ශ්‍රී ලංකාව සමඟ සටන් වදින ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නොතිබීමයි. නමුත් කල් ගතවී හෝ තම වරද නිවැරදි කර ගන්නට දැන් ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ ලබන 24 වැනිදා බ්‍රිස්බේන් නුවර සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වන ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට පැටර්සන්ව ඇතුළත් කරමින්. මීට පෙර ද ඔවුන් තම සංචිතයේ වෙනසක් සිදු කරමින් ආබාධයට ලක්වූ ජෝශ් හැස්ල්වුඩ් වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන්ව කැඳවා තිබුණා.

ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණියේ ප්‍රබල වෙනසක්

ඉන්දියාව සමඟ පැවති තරග හතරකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේ මිචෙල් …

අද දින සංචිතයට ඇතුළත් වූ අපගේ කතා නායකයා මේ වනතුරු කිසිම ජාත්‍යන්තර තරගයකට මුහුණ දී නැහැ. නමුත් නිව් සවුත්වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් දිවියට අත්පොත් තැබූ ඔහු එහි දී තම ලකුණු සාමාන්‍යය 41ක් ලෙස පවත්වා ගෙන යන්නට ද සමත් වනවා. ඔහු පසුගිය දා හෝබාර්ට් නුවර බෙලරිව් ඕවල් පිටියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථම ඉනිමේ නොදැවී ලකුණු 157ක් සහ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 102ක් ලබා ගැනීම ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ ඇස් ඇරවීමට හේතුවූ ආසන්නතම සිදුවීමයි.

“කර්ටිස් කලක සිට ඔහුගේ දක්ෂතාවය තේරීම් කමිටුවට දන්වමින් සිටියා. ඔහු නිව් සවුත්වේල්ස් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අතුරින් වඩාත්ම විශ්වසනීය ක්‍රීඩකයෙක්. මෙම තරග වාරයට පෙර ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමඟ ඉන්දීය තරග සංචාරයකට ද එක්වුනු ඔහුව ශ්‍රී ලංකාව සමඟ දිවා – රාත්‍රි පුහුණු තරගයටත් තෝරාගනු ලැබුවා. ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නම් ඔවුන් ශතක රැස් කළ හැකි පිතිකරුවන් වීම අනිවාර්ය බව අපගේ අදහසයි. සවුත්වේල්ස් කණ්ඩායමට ඔහු දක්වන අඛණ්ඩ සහයත්, පසුගිය සතියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු ලබාගත් ශතක දෙකත් නිසා ඔහුට ටෙස්ට් සංචිතයට තෝරා ගත යුතු යැයි අප තීරණය කළා” ඒ පැටර්සන්ව සංචිතයට ඇතුළත් කිරීම ගැන ඕස්ට්‍රේලියානු ජාතික තේරීම් කමිටුවේ ට්‍රෙවර් හෝන්ස්ගේ අදහසයි.

ඒ අනුව වමතින් පිත්ත හසුරුවන කර්ටිස් පැටර්සන් අද (21) සිට පෙර පුහුණුවීම් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමඟ එක්වන අතර සංචාරයේ පළමු ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා සිට බ්‍රිස්බේන් හිදීත්, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි පළමු වැනිදා සිට කැන්බරා හිදීත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචිතය: ටිම් පේන්, ජෝ බර්න්ස්, පැට් කමින්ස්, මාර්කස් හැරිස්, ට්‍රැවිස් හෙඩ්, උස්මාන් කවාජා, මාර්නස් ල’බුශේන්, නේතන් ලයන්, කර්ටිස් පැටර්සන්, විල් පුකොව්ස්කි, මැට් රෙන්ශෝ, ජේ රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්, පීටර් සිඩ්ල්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<