ඉන්දියානු පුහුණුකාරීත්වයෙන් කුම්බ්ලේ ඉවත්වෙයි

680

ICC ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ පරාජයත් සමඟින් ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමට අනිල් කුම්බ්ලේ තීරණය කොට ඇත. ඉකුත් මාසයක පමණ කාලයේදී ඉන්දියානු නායක විරාත් කෝලි සහ කුම්බ්ලේ අතර පැවති නුරුස්නා සහගත බවක් පිළිබඳ අසන්නට ලැබුණු අතර කුම්බ්ලේ විසින් උක්ත තීරණය ඊයේ (20) ගෙන තිබේ.

කුම්බ්ලේගේ කොන්ත්‍රාත්තු ගත වසරක කාලය අවසන් වූයේ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසානයත් සමඟයි. නමුත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ ඔවුන්ගේ ක්‍රිකට් අනුශාසක මණ්ඩලය විසින් කුම්බ්ලේව තවදුරටත් එම තනතුරේ තබාගැනීමට කැමැත්ත පළකොට තිබුණද කුම්බ්ලේ එය ප්‍රතික්ෂේප කළ බවයි. ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය තුළදී කුම්බ්ලේ සහ කෝලි අතර කිසිදු ආකාරයක සන්නිවේදන කටයුත්තක් සිදුවී නැති අතර කුම්බ්ලේට සිදුව ඇත්තේ පන්දු යවන්නන් හට පමණක් උපදෙස් ලබාදීමටයි.

ඒත් සමඟින් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ සුපරීක්ෂණ කටයුතු සිදුකරන්නේ ඉන්දියානු ක්‍රිකට් පිළිබඳ සමූහ කළමණාකරුවෙකු වන එම්.ශ්‍රීධර් මහතා බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කොට ඇත. පිතිකරණ පුහුණුකරු සංජය බංගාර් සහ පන්දු රැකීමේ පුහුණුකරු ආර්.ශ්‍රීධර් එම තනතුරුවල සිටියදී නව පුහුණුකරුවෙකු තොරාපත්කරගැනීම සඳහා ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටියි.

ඉන්දියාවෙන් බිහිවූ සුපිරි පා දඟපන්දු යවන්නෙකු සේ සැලකෙන කුම්බ්ලේ ඉන්දියානු ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගැනීමෙන් පසු ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් තරග 17කදී තරග 12ක් ජයගැනීමට සහ 4ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. ඒ කාල පරාසය තුළදී ඔවුන් පරාජය වී ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණක් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඉන්දියානු ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියාද ඔහු වන බැවින් දැනට පැවැත්වෙන ICC වාර්ෂික සමුළුව අවසන් වන තෙක් ලන්ඩන් නුවර රැඳීමට කුම්බ්ලේ තීරණය කොට ඇත්තේ ඉන්දියානු කණ්ඩායම බාබඩෝස් දක්වා ගුවන් ගමන් කිරීමට සූදානම් වන පසුබිමකයි. ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය එළඹෙන 23 වැනිදා ඇරඹේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට