ආබාධ හේතුවෙන් අහිමි වූ කාලය වෙනුවෙන් ලබා දෙන අතිරේක මිනිත්තු කිහිපයේ අවසන් මොහොතේ නලින් කුමාර මීටර් 45ක පමණ දුරක සිට වාර්තා කල විශිෂ්ට දඬුවම් පහර හේතුවෙන් පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 23-22ක තියුණු ජයක් ලබමින් තරග තුනක් පුරා විඳි පරාජයේ වේදනාව අවසන් කරන්නට CR & FC කණ්ඩායම සමත් විය.

රග්බි කිරුල සුපුරුදු පරිදි මහනුවරට

තරගාවලියේ ආරම්භක සමයේ දී සිදු වූ අඩුපාඩු මග හරවා ගනිමින් 2016-17 තරග වාරයේ ඩයලොග් ලීග් රග්බි ශූරයන් ලෙස අභිෂේක ලබන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. අවසන් සති අන්තයේදී CH & FC කණ්ඩායම ලකුණු 59 – 03 ක් ලෙස පරාජය කරමින් ඔවුන් මේ ශූරතාව තමන් සතු බව තහවුරු කර ගත්තේ නොකඩවා 3 වන වරටයි.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් ක්‍රීඩකයන් ලකුණු 22-17ක් ලෙස පෙරමුණේ සිටි අතර ජයග්‍රාහී CR කණ්ඩායම ලකුණු රැස් කලේ උත්සාහක දිනුම් 3ක්, එක් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 2ක් මගිනුයි.

pic 1

රග්බි ක්‍රීඩාව සඳහා උචිත කාලගුණ තත්ත්වයක් යටතේ ආරම්භ වූ මේ තරගයේ මුල් මිනිත්තු කිහිපය සත්කාරකයන් හට එතරම් සුභදායී නොවුනේ නොකඩවා සිව්වන පරාජයත් වළක්වා ගැනීමේ අරමුණින් තරග වැදුණු CR & FC ක්‍රීඩකයන් පොලිස් කණ්ඩායමේ අඩුපාඩුවකින් උපරිම ප්‍රයෝජන ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීම හේතුවෙනුයි. අශාන් ද කොස්තා මෙම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ප්‍රින්ස් චාමර එල්ල කල ප්‍රවර්තනය ගෝල කණුවේ වැදී ඉවතට ඇදී යන ලදි. (පොලිස් 00 – 05 CR & FC)

මිනිත්තු කිහිපයක් ඇතුළත CR & FC ක්‍රීඩකයන් තම ලකුණු වාසිය දෙගුණ කර ගන්නට සමත් විය. මෙම උත්සාහක දිනුමේ හිමිකරු බවට පත් වුනේ ගයාන් ජයමාන්නයි. කෙසේ වෙතත් මෙවර ද ප්‍රින්ස් චාමරගේ ප්‍රවර්තනය නිසි ඉලක්කය සොයා ගැනීමට අපොහොසත් විය. (පොලිස් 00 – 10 CR & FC)

පළමු මිනිත්තු 5 තුල ප්‍රතිවාදීන් දෙවරක් ලකුණු රැස් කිරීමත් සමඟ නිදි ගැට කඩා දමා තරගයට පිවිසි පොලිස් කණ්ඩායම CR ආරක්ෂක පෙළ ක්‍රීඩකයන්ට අභියෝග කිරීම ආරම්භ කරන ලදි. තරගයේ 15 වන මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කලේ ප්‍රවේගකාරී අංක 8 ක්‍රීඩක රදීෂ සෙනෙවිරත්න විසිනුයි. රාජිත සන්සෝනි එය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි. (පොලිස් 07 – 10 CR & FC)

pic 2

මිනිත්තු කිහිපයකට පසු සන්සෝනි නැවතත් තම සේවය කණ්ඩායමට ලබා දුන්නේ මීටර් 25ක පමණ දුරක සිට දඬුවම් පහරක් එල්ල කරමිනි. (පොලිස් 10 -10 CR & FC)

පොලිස් ක්‍රීඩකයන් විශිෂ්ට තරග රටාවකට පිවිසී සිටි අවස්ථාවක තරගයේ රිද්මයට එරෙහිව යමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට CR කණ්ඩායමේ විඟර් ක්‍රීඩක කවිඳු පෙරේරා සමත් වුනේ ඔහුගේ වේගය සහ මනා පාද චලනයන් උපයෝගී කර ගනිමිනුයි. ප්‍රින්ස් චාමර මෙවර සාර්ථක ප්‍රවර්තනයක් එල්ල කලේ CR කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කරමිනි. (පොලිස් 10 – 17 CR & FC).

pic 3

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම පොලිස් කණ්ඩායමේ ප්‍රබල තරග රටාවට බලපෑමක් ඇති කරන්නට අසමත් වූ අතර, 30 වන මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම මගින් ලකුණු රැස් කරන්නට රදීෂ සෙනෙවිරත්න සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වීම හේතුවෙන් පොලිස් කණ්ඩායමට පෙරමුණ ගන්නට නොහැකි වුවත්, තවත් මිනිත්තු 5ක් ගත වන විට එම ඉලක්කය සපුරා ගන්නට ඔවුන්ට හැකි වුනේ ජොයෙල් පෙරේරා වාර්තා කල උත්සාහක දිනුම මගිනුයි. රාජිත සන්සෝනි මෙවර සාර්ථක වීමත් සමඟ පොලිස් කණ්ඩායමට පළමු අර්ධය අවසානයේ ලකුණු 5ක වාසියක් හිමි විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රී. ස. 22 – 17 CR & FC

පළමු අර්ධය සමඟ සැසඳීමේ දී පොලිස් කණ්ඩායම සෑහෙන තරම් දුරකට පාලනය කර ගන්නට CR & FC ක්‍රීඩා සමාජය සමත් විය. කෙසේ වෙතත් ඔවුන්ගේම අත්වැරදී හේතුවෙන් ලකුණු ලබා ගැනීමේ අවස්ථා මග හරවා ගත් CR & FC කණ්ඩායම ලකුණු පරතරය අඩු කර ගන්නට සමත් වුනේ 55 වන මිනිත්තුවේ දී නලින් කුමාර එල්ල කල දඬුවම් පහරක් සමඟයි. (පොලිස් 22 – 20 CR & FC)

CR & FC කණ්ඩායම පොලිස් ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දුවේ අයිතිය තමන් සතුවම රඳවා ගන්නට සමත් වූ නමුත් සෑම විටම ගෝල සීමාව අසල පොලිස් ක්‍රීඩකයන්ගේ ආරක්ෂක ක්‍රීඩකයන්ගේ ප්‍රතිරෝධය බිඳ දමන්නට ඔවුන්ට හැකි වුයේ නැත.

pic 4

තරගයේ නියමිත කාලය වන විටත් ලකුණු පුවරුව නොවෙනස්ව පැවති අතර, විනිසුරු රොහාන් ප්‍රනාන්දුගේ තරග අවසන් සංඥාව නිකුත් වීමට මොහොතකට පෙර පිටිය මැද ප්‍රදේශයේ දී දඬුවම් පහරක් හිමි කර ගන්නට CR & FC කණ්ඩායම සමත් විය. තරග ජයග්‍රහණයක් තීරණය කෙරෙන මෙම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම භාර ගත්තේ අත්දැකීම් රැසකින් පිරිපුන් ක්‍රීඩක නලින් කුමාර යි. CR ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් මීටර් 45ක් පමණ දුරකින් පිහිටි ගෝල කණු අතරින් නිවැරදිව පන්දුව යොමු කල අශාන් තම කණ්ඩායමට ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසානය ජයග්‍රාහීව සනිටුහන් කරන්නට හැකියාව ලබා දුනි.

අවසන් ලකුණු තත්ත්වය: පොලිස් ක්‍රී. ස. 22 – 23 CR & FC

ThePapare.com තරගයේ වීරයා: රදීෂ සෙනෙවිරත්න (පොලිස් ක්‍රී. ස.)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

පොලිස් ක්‍රී. ස. (22)

උත්සාහක දිනුම් : රදීෂ සෙනෙවිරත්න (2), ජොයෙල් පෙරේරා.

ප්‍රවර්තන : රාජිත සන්සෝනි  (2)

දඬුවම් පහර: රාජිත සන්සෝනි  (1)

 

CR & FC (23)

උත්සාහක දිනුම් : අශාන් ද කොස්තා, ගයාන් ජයමාන්න, කවිඳු පෙරේරා.

ප්‍රවර්තන : ප්‍රින්ස් චාමර  (1)

දඬුවම් පහර : නලින් කුමාර (1), නලින් කුමාර. (1)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට