ඔහු කී දෙයක් තදින් මගේ හිතේ සටහන් වුනා – ඕස්ට්‍රේලියා පුහුණුකරු

24549

2019 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් කිහිපයෙන් එකක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම හැඳින්විය හැකිය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගවලට මුලින්ම සුදුසුකම් ලැබූ රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි.

ඕස්ට්‍රේලියානු ප්‍රබලයෙක් ලෝක කුසලානයෙන් ඉවතට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකරුවෙක් වන ශෝන් මාෂ් 2019 ලෝක කුසලාන ක්‍රිකට්…

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව මේ සෙනසුරාදා පැවැත්වෙන තරගය ජය ගැනීමට හැකියාවක් ලැබේ නම් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ පෙරමුණ ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම ජයග්‍රාහී පසුබිම ජස්ටින් ලැන්ගර්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානුවන් පසුගිය අවුරුද්දක කාලය තුළ ජාත්‍යන්තර සීමිත පන්දුවාර ක්‍රීඩාවේ ලබා ගත් ප්‍රගතිය මනාව පෙන්නුම් කරන්නකි.

නමුත් 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය පහසුවෙන් ජයගත්තාට පසු ඉකුත් සිව් වසරේ සීමිත පන්දුවාර තරගවල ඕස්ට්‍රේලියාවේ දස්කම් එතරම් උසස් මට්ටමක තිබුණේ නැත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව වසර ගණනාවක් පසුපසට ගෙන ගිය පසුගිය වසරේ මාර්තු මාසයේ සිදු වූ පන්දුව පළුඳු කිරීමේ චෝදනාවෙන් පසු ඕස්ට්‍රේලියානුවන්ගේ එක්දින තරග රටාව තවදුරටත්  කබලෙන් ලිපට වැටුණ බව නොරහසකි. නව පුහුණුකරුවෙකු සහ නව නායකයෙකු යටතේ ඕස්ට්‍රේලියානුවන් නැවත වතාවක් අලුත් ගමනක් ආරම්භ කරන්නට තීරණය කර තිබුණි.

එතෙක් අසාර්ථක පරිච්ඡේදයක් ගත කළ ද මේ වසරේ මුල සිට නැවත වතාවක් ජයග්‍රාහී පසුබිමක් ගොඩනගා ගන්නට ඕස්ට්‍රේලියානුවන්ට හැකියාව ලැබුණි. ඒ හේතුවෙන්ම ලෝක  කුසලාන තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායමක් ලෙස පෙරමුණ ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණි.

අන්තිමයා තේරෙන තරගයේ ජය කොදෙව්වන්ට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් ස්ථානයට කවුරුන් පත්වේදැයි සැක හැක දැනගත…

ලෝක කුසලානයේ තම ජයග්‍රාහී ගමන පිටුපස සිටි තවත් සුවිශේෂී චරිතයක් ගැන ඕස්ට්‍රේලියානු පුහුණුකරුවා දින කිහිපයකට කලින් හෙළිදරව්වක් කළේය. ඔහු ශ්‍රී ලාංකිකයෙකි.

“ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට පෙර ඔහු සියලු කණ්ඩායම් හැම්ප්ෂයර්හීදි ඇමතුවා. ඔහු කී දෙයක් තදින් මගේ මනසේ සනිටුහන් වුනා. සමහර විට ඔහුට ඔහු එදා පැවසූ දෙය මතක නැතුව ඇති. නමුත් ඔහු එදා කී දෙය සම්පූර්ණයෙන්ම සත්‍යයක්.”

ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු කුමාර් සංගක්කාර සුප්‍රකට මාලිබෝන් ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර ඔහු තරගාවලිය ඇරඹීමට පෙර ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් ඇමතූ අතර ඕස්ට්‍රේලියානුවන් ඔහුගේ වදන්වලින් තවදුරටත් දිරිමත් වූ බව පවසන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන ජස්ටින් ලැන්ගර්ය.

“මට දැනෙන අන්දමට මෙවර ලෝක කුසලානය ඔබට කුසලානයකට වැඩි යමක්” සංගක්කාර පැවසුවේය.

සාමන්‍යයෙන් ලෝක කුසලානවලට එන ඕස්ට්‍රේලියානු කණ්ඩායම් තරමට මෙවර එංගලන්තයට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කෙරෙහි කිසිවෙකු එතරම් බලාපොරොත්තු තබා සිටියේ නැත.

“අපි ලෝක කුසලානයට එන විට බොහෝ දෙනෙකු අපි ක්‍රීඩා කරන විදිය ගැන අවධානයෙන් හිටියේ. දකුණු අප්‍රිකාවේ සිදුවීම් මාලාව ගැන බොහෝ දෙනෙකු කතා කළා. එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සෑහෙන ඉදිරියෙන් සිටියා. නමුත් කිසිවෙකු අපි ගැන විශාල බලාපොරොත්තු තබා සිටියේ නැහැ. නමුත් එක අතකින් අපට එය පහසුවක් වුනා” ලැන්ගර් වැඩිදුරටත් පැවසීය.

“කවුරුහරි මාව හැප්පුවා” පූරන්ගේ අනපේක්ෂිත මතකය

නිකලස් පූරන්ව නොදන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු මේ මොහොතේ මිහිපිට සිටිය…

“පහුගිය මාස දොළහ අපිට ඉතාම හැඟිම්බර කාලයක් වුනා. විවිධ පුද්ගලයින් දිරිමත් වන්නේ විවිධ කාරණාවලින්. දැනට නම් අපේ මූලික අරමුණ සහ ඉලක්කය ඉතිරි දකුණු අප්‍රිකානු තරගය ජයගෙන අංක එකේ කණ්ඩායම ලෙස අවසන් පූර්ව තරගවලට යෑම.”

මීට වසරකට පෙර එංගලන්තය හමුවේ 5-0 ලෙස පූර්ණ තරගාවලියක් අන්ත අසරණ ලෙස පරාජය වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට එක්දින පිටියේ ලබා තිබෙන ශීඝ්‍ර දියුණුව සෙසු කණ්ඩායම්වලට ද විශාල ආදර්ශයකි.

Getty Images

“අපි නිතරම කතා කරනවා අනෙක් කණ්ඩායම්වල ගෞරවය දිනා ගන්නේ කෙසේ ද කියා. එම ගෞරවය අපට ලැබෙන්නේ තරග ජයග්‍රහණය කිරීමෙන් පමණක් නොවේ. ක්‍රීඩා පිටිය තුලදීත්, ඉන් පිටතදීත් හරියාකරෙන් හැසිරීමෙනුයි.

අපේ අවධානය තිබෙන්නේ තරග ජයග්‍රහණය කිරීමට පමණක් නොවෙයි. හරියාකාරයෙන් තරග ජයග්‍රහණය කිරීමයි අපේ අරමුණ.

අපි ක්‍රීඩාවේ වටිනාකම් ගැන වෙනදාටත් වඩා අවධානයක් යොමු කරගෙන ඉන්නේ. එය කට වචනයට පමණක් සීමා වූවක් නොවේ. අපි කණ්ඩායමක් විදියට එය ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා.”

කේපටවුන් පන්දුව පළුදු කිරීමේ සිද්ධියෙන් අනතුරුව ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනා දකුණු අප්‍රිකානු කණ්ඩායමකට මුහුණ දෙන්නේ ප්‍රථම වතාවටය. 

කුමාර් සංගක්කාරගේ දිරිවදන් මගින් 2019 ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව සහ සාර්ථකව නිමා කරන්නට ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක් ලැබේ දැයි අපිට ඉදිරි සති කිහිපයේ දී දැක ගැනීමට හැකිවනු ඇත.

www.cricket.com.au ඇසුරෙනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<