ජනප්‍රියම ක්‍රීඩකයාට තවත් සම්මානයක්

223

අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර තවමත් ඔහුගේ පිත්තෙන් හරඹ පාමින් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ දී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.

කළණ පෙරේරා කඩුලු 10ම දවා ගනියි!

සිංගර් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වූ තරගයක දී…

එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින සංගක්කාර, එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තවත් ක්‍රීඩකයන් තිදෙනෙකු සමඟ තරග කළ අතර අනෙක් ක්‍රීඩකයින් තිදෙනාට හිමි ඡන්ද ප්‍රමාණයේ එකතුව මෙන් දෙගුණයක් ඡන්ද ඔහු හිමි කර ගෙන ඇත.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ වෙබ් අඩවියේ සහ ලෝක ප්‍රසිද්ධ “ස්කයි ස්පෝට්ස්” වෙබ් අඩවිය ඔස්සේ මෙම ක්‍රීඩකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රිකට්ලෝලීන් හට අවස්ථාව උදා කර දී තිබුණි. එහි දී සෙසු ක්‍රීඩකයින් තිදෙනා ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙගුණයක් ඡන්ද ලබා ගනිමින් කුමාර් සංගක්කාර මැයි මස විශිෂ්ටතම ක්‍රීඩකයාගේ සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් (එසෙක්ස්), වුසස්ටෂයර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් සහ ග්ලැමෝගන් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඉන්ග්‍රෑම් මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා තරගය සඳහා ඉදිරිපත්වී සිටි අනෙකුත් ක්‍රීඩකයින් තිදෙනා වන අතර එහි දී ප්‍රසාද ලකුණු 167ක් හිමි කර ගැනීමට කුමාර් සංගක්කාරට හැකි වී තිබේ.

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අවසානයේ දී “අඟනාම ක්‍රීඩකයා” හට ස්ටර්ලින් පවුම් 10,000ක් සහ කුසලානයක් හිමි වේ. මෙම තරගාවලියේ තවත් තරගයක් ලබන සිකුරාදා ගිල්ඩ්ෆෝඩ්හිදී පැවැත්වීමට නියමිත අතර කුමාර් සංගක්කාර සරේ කණ්ඩායම වෙනුවෙන් එසෙක්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත වේ.

මීට වසර දෙකකට ඉහත දී ටෙස්ට් පිටියෙන් සමුගත් කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134කට සහභාගී ‍වෙමින් 57.40ක පිතිකරණ සාමාන්‍යයක් ද රඳවා ගනිමින් ටෙස්ට් ලකුණු 12,400ක් ලබා ගෙන ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පස්වැනි ස්ථානයේ පසු වේ. එක්දින තරග 404කට සහ අන්තර්ජාතික විස්සයි – විස්ස තරග 56කට ක්‍රීඩා කර ඇති සංගක්කාර ඉහත සඳහන් කළ ආකාරයටම අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද ඔහුගේ පිතිහරඹය නතර වී නැත.

එංගලන්තයේ පැවැත්වෙන පළමු පෙළ තරග වාරයෙන් පසු කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණු අතර ඒ මොහොතේ සියල්ලන්ම ප්‍රකාශ කර සිටියේ දක්ෂතා අතර සිටින මොහොතක එවැනි තීරණයක් නොගන්නා ලෙසයි. එහෙත් කුමාර් සංගක්කාර BBC මාධ්‍ය හමුවේ දී කියා සිටියේ “නියතවම ලඟා වෙන අවසානය සමඟ ඔබට සටන් කළ හැකි වුවත් ඔබ ඉවත් විය යුත්තේ දක්ෂතාවලින් ඉදිරියෙන් සිටින විටයි.“ යන්නයි.

තවමත් දක්ෂතා අතර සිටින සංගක්කාර මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඩ්ස්හිදී පැවති සිව්දින තරගයේ දී ඉනිම දෙකක දී ම ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පිට පිටම පළමු පෙළ ශතක 5ක් ලබා ගැනීමට සමත් විය. එපමණක් නොව සංගක්කාර එම තරගයේ දී 6 වැනි පළමු පෙළ ශතකය ලබා ගැනීමට යාමේ දී ලකුණු 84කට දැවී ගියේය.

ඊට අමතරව අද වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂඥ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වශයෙන් ද කටයුතු කරන සංගක්කාර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වන විට ඔහුගේ අඩුව යම්තාක් දුරකට පිරවීමට හෝ කිසිවකු සූදානම් කර නොමැති වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුබදායක නොවේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට