2019/20 අන්තර් සමාජ තරගවාරයේ ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත උපායශීලි පුහුණුකරුවන් ගැන ThePapare.com ඇසින්. 

යුද හමුදා මෙහෙයුම සාර්ථකයි!

බස්නාහිර පළාත් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තවත් තරගයක් ඊයේ (18) CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණු………………

  • දුෂාන්ත් ලෙව්කේ  

මෙම වසරේ CR & FC කණ්ඩායමේ පුහුණුකරු වන දුෂාන්ත් ලෙව්කේ එම කණ්ඩායම භාරගන්නේ පළමුවැනි වතාවටයි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු මෙන්ම CR & FC කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයෙකු ලෙස ද කටයුතු කර පළමු වසරේ දී තම කණ්ඩායම ලීග් ශූරතාවය සඳහා කැඳවාගෙන යාම විශේෂත්වයකි. 

දුෂාන්ත් ලෙව්කේ

තම කණ්ඩායමට අවශ්‍ය කරන ආකාරයේ සියලුම තරග රටාවන් ගැන මනා අවබෝධයක් ඇති දුෂාන්ත් ලෙව්කේ හට තමන් ක්‍රීඩා කළ CR & FC කණ්ඩායම මෙහෙයවීම අසීරු නොවනු ඇත. 

  • වයිපර් ගුණරත්න 

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරළිකාර දස්කම් දක්වමින් මහනුවර ක්‍රීඩා සමාජය ද පරාජය කළ යුද හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් වයිපර් ගුණරත්න, ඉදිරි තරගවාරයේදී CH & FC කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය. 

නිහාල් වයිපර් ගුණරත්න

ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවට අමුත්තෙකු නොවන වයිපර් ගුණරත්න, ප්‍රථම වතාවට පසුගිය පාසල් තරගවාරයේ දී ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායම භාරගත්තේය. පසුගිය තරගවාරයෙන් ලැබූ ආභාෂයත්, රග්බි ක්‍රීඩාව ගැන ඇති විශාල දැනුමත් උපයෝගී කරගෙන “වයිපර්” එළඹෙන තරගවාරයේ දී CH & FC කණ්ඩායම ඉදිරියට රැගෙන යන බව නොඅනුමානය.

  • සනත් මාටිස්  

මෙවර හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙහෙයවන සනත් මාටිස්, තමන් ක්‍රීඩා කරන කාලය තුළ ඉහළින් වැජඹුන චරිතයක් නොවුනද කණ්ඩායමක් දෙස බැලූ විටෙක එහි සියලු අඩුපාඩු හඳුනා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මනා කුසලතාවයක් ඇත්තෙකි. ශ්‍රී ලංකාව තුළ රග්බි පුහුණුකරුවෙකු ලෙස වසර 24ක සේවය මෙම වසරේ දී සම්පූර්ණ කරන සනත් මාටිස්, මෙරට ක්‍රීඩා සමාජ රග්බි පිටියට ආධුනිකයෙකු නොවේ. 

සනත් මාටිස්

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු සේම තමන් පුහුණු කළ කණ්ඩායම් වලට ශූරතාවයන් විශාල ප්‍රමාණයක් දිනා දී ඇති සනත් මාටිස්, 2006, 2007 සහ 2010 වර්ෂ වල පාසල් මට්ටමින් සාන්ත පීතර විද්‍යාලයට ශූරතාවයන් 7 අත්කර දෙන්නට ඔහු සමත් වී ඇත. පසුගිය වසරේ මෙන්ම එළඹෙන තරගවාරයේදී ද හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉහළින් තබන්නට සනත් මාටිස් තම උපායන් සකසමින් සිටියි. 

  • ෆාසිල් මරීජා  

මහනුවර ක්‍රීඩා සමාජයට සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට මහත් කීර්තියක් අත්කර දුන් ෆාසිල් මරීජා, එළඹෙන තරගවාරයෙන් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තම පුහුණුකාරීත්වය ආරම්භ කිරීමට සූදානමින් සිටියි. ඔහු සමඟින් මහනුවර ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ පුහුණු කිරීමට CR & FC කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යය විරාජ් ප්‍රසන්න ක්‍රියා කරන අතර ඔහු මීට ප්‍රථම CH & FC කණ්ඩායමේ ඉදිරිපෙළ පුහුණුකරුවෙකු වශයෙන් ක්‍රියාකර ඇත.

ෆාසිල් මරීජා

එම පුහුණුකරුවන් දෙදෙනාට අමතරව මහනුවර කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු නාලක වීරක්කොඩි ද ඔවුන්ට තම සහාය ලබාදෙමින් පුහුණුකරු මඩුල්ලේ සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සත්සාමාජික තරග 150කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ ඇති මරීජාට තමන්ගේ ක්‍රීඩා සමාජයම පුහුණු කිරීමට ලැබීම මහත් වාසියක් මෙන්ම පහසුවක් වනු ඇත. ඒ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරනා ක්‍රීඩා විලාශය ඔහු හොඳින් හඳුනන බැවිනි.

හෙන්රිගේ වැඩ වැඩි වෙයි!

පසුගිය අන්තර් පාසල් රග්බි තරග වාරයේ දී ඉසිපතන විදුහලේ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කළ හෙන්රි ටෙරන්ස්……………..

  • අසංක රුද්‍රිගු 

ශ්‍රී ලංකාවේ හිටපු සත්සාමාජික විශේෂඥ ක්‍රීඩකයෙකු සේම පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පසුගිය තරගවාරයේ දී සහය පුහුණුකරු වශයෙන් විශාල සේවයක් ඉටුකළ අසංක රුද්‍රිගු, එළඹෙන තරගවාරයේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටියි. 

අසංක රුද්‍රිගු

පොලිස් ක්‍රීඩා සමාජයේ රිද්මය නැවත වරක් එක්රැස් කරමින් පසුගිය තරග වාරයේ දී ඔවුන්ගේ දස්කම් ඉහළ නැංවීමට විශාල පරිශ්‍රමයක් යෙදූ අසංක රුද්‍රිගු, එළඹෙන තරගවාරය වෙනුවෙන් මහත් සූදානමින් සිටිනු නොඅනුමානය. 

  • මැට් ලී  

ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි සංචිතයේ සහ ශ්‍රී ලංකා රග්බි සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නවසීලන්ත ජාතික මැට් ලී, එළඹෙන තරගවාරය වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජය පුහුණු කරන්නට සූදානමින් සිටියි. එසේම ඔහු මීට පෙර CH & FC කණ්ඩායමට ද තම දායකත්වය ලබා දී ඇත. 

මැට් ලී

ශ්‍රී ලංකාවේ ජාතික සංචිතයද හසුරවන මැට් ලී, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය සහ ඔවුන්ගේ තරග රටාවන් හොඳින් හඳුනන අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයට එළඹෙන තරගාවරයේ දී මෙය විශාල වාසියක් වනු ඇත. 

  • ලෙනාර්ඩ් ද සිල්වා  

එළඹෙන තරගවාරයේ දී ගුවන් හමුදාවේ නියමුවා වශයෙන් කටයුතු කරන්නේ කලක් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පසුපෙළ කළඹමින් සිටි ලෙනාර්ඩ් ද සිල්වා යි. 2014 වර්ෂයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, එකල දී නාවික හමුදාවේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කළේය. 

ලෙනාර්ඩ් ද සිල්වා

2014 වර්ෂයේ දී නාවික හමුදාව ලීග් ශූරතාවය කරා කැටුව යන්නට ලෙනාර්ඩ් විශාල මෙහෙයක් ඉටු කිරීම කැපී පෙනෙන කරුණක් විය. මද නිහඬතාවයකින් පසු එළඹෙන තරගවාරයේ දී ලෙනාර්ඩ් ද සිල්වා නැවතත් තම දස්කම් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මඟින් පෙන්වන්නට සූදානමින් සිටියි.

ලසින්ත කොළඹින් නුවරට!

පසුගිය වසරේ ඉසිපතන විදුහලේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ ලසින්ත ද කොස්තා 2020 අන්තර් පාසල් රග්බි තරග…………….

  • රධික හෙට්ටිආරච්චි  

පසුගිය තරගවාරයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන  පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් වයිපර්ගුණරත්න CH & FC කණ්ඩායම සමඟ එක්වීමත් සමඟ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නට හිටපු ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි ක්‍රීඩකයෙකු සහ ප්‍රවීණ පුහුණුකරුවෙකු වන රධික හෙට්ටිආරච්චි සූදානමින් සිටියි. 

රධික හෙට්ටිආරච්චි

2016 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පුහුණුකරන කටයුතු වලින් බැහැර වීමෙන් පසු ඔහු විසින් නැවතත් ශ්‍රී ලංකාව තුළ කණ්ඩායමක් පුහුණු කිරීමට භාරගත් පළමු අවස්ථාව මෙය වේ. 2016 වසරෙන් පසු නේපාලයේ පිරිමි සහ කාන්තා සත්සාමාජික රග්බි කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් පසු රධික හෙට්ටිආරච්චි පසුගිය වසරේ නේපාලයට සංක්‍රමණය විය. ඒ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ රොනී ඊබ්‍රහිම්ට පසුව ශ්‍රී ලාංකිකයෙකු වෙනත් රටක පුහුණුකරුවෙකු ලෙස තෝරාපත් වු අවස්ථාව වශයෙනි. 

ධර්මරාජ විද්‍යාලයේ හිටපු ක්‍රීඩකයෙකු වන රධික හෙට්ටිආරච්චි, 90 දශකයේ අග භාගයේ සිට අන්තර් සමාජ මට්ටමින් මහනුවර, CH & FC, CR & FC සහ Upcountry Lions කණ්ඩායම් නියෝජනය කර ඇත. ශ්‍රී ලංකා සත්සාමාජික සහ පළමු පෙළ ජාතික කණ්ඩායම්වල නායකත්වය ද දරා ඇති රධික හෙට්ටිආරච්චි දක්ෂ ක්‍රීඩකයෙකි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<