කේ. එල්. රාහුල් ගාල්ලට නුසුදුසුයි

840
KL Rahul will not be available for the first test

ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නටත් පෙර සිටම දෙපිලේම ක්‍රීඩකයින් අසනීප තත්වයන්ට භාජනය වීම පිළිබඳ පුවත් වාර්තා වේ. එහි නවතම සාමාජිකයා වන්නේ ඉන්දියානු ආරම්භක පිතිකරු කේ. එල්. රාහුල් ය. ඔහුට ඇතිවී තිබෙන උණ තත්වය නිසා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු සුදුසුකම් නොලබනු ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දියාවේ සිට පැමිණෙන විටත් යම් තරමක අසනීප තත්වයෙන් පෙළුණු රාහුල්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව සී. සී. සී. පිටියේදී පැවති පුහුණු තරගයේදී ලකුණු 54ක් රැස්කළේ පන්දු 58ක් පමණක් වැය කරමිනි. දැනට පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබන රාහුල්ට වැළඳී ඇත්තේ වෛරස් උණ රෝගයකි. එය ඩෙංගු හෝ නිව්මෝනියාව නොවන බව වෛද්‍යවරුන් විසින් තහවුරු කොට ඇත.

2015 පැවති ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී ද ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානයේ කටයුතු කළ ඔහුට කිසිදු ඉනිම 5කදී ලකුණු 10 සීමාව හෝ පසුකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩදුන්නේ නැත. එහෙත් මේ වන විට ඔහු ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයෙකි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ද නිව්මෝනියාව වැළඳුණු අතර ඒ හේතුවෙන් වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දරන්නේ රංගන හේරත් ය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට