කිමිකෝගේ හා චෙරන්තගේ ඔලිම්පික් සිහිනය තවත් ඈතට යති

241
Kimiko Raheem

ඊයේ (22දා) අවසන් වූ ජපන් විවෘත පිහිනුම් තරගාවලියේදී ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකිරීමට චෙරන්ත ද සිල්වා හා කිමිකෝ රහීම් බලාපොරොත්තු තැබුවද දෙදෙනාටම එම අවස්ථාව අහිමි වී ගියහ.

මෙම වසරේ අගෝස්තු මස 5 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනා අතරින් වඩාත් කැපී පෙනෙන දස්කම් දැක්වූ කිමිකෝ රහීම් මීටර් 100 පසුපස ආර ඉසව්ව තරගකාරියන් 56 දෙනකු අතරින් 17 වැනි තැනට පත්වූවාය.

එහිදී ඇය “බී” ශ්‍රේණියේ ඔලිම්පික් පරිසාදන මට්ටම වූ වි.1.02.36ක කාලය ආසන්නයටම පැමිණෙමින් එම ඉසව්ව වි.1.03.00කින් අවසන් කරමින් මේ වසරේ ඇය වාර්තා කළ හොඳම කාලය බවටද එය පරිවර්තනය කර ගත්තාය.

මීටර් 50 පසුපස ආර ඉසව්වට සහභාගි වූ කිමිකෝ එහිදී තත්.29.80කදී අවසන් කරමින් තරගකාරීයන් 48 දෙනකු අතරින් 24 වැනි තැන දිනාගත් අතර, මීටර් 200 පසුපස ආර ඉසව්ව වි.2.18.56කදී අවසන් කරමින් තරගකාරීයන් 50 දෙනකු අතරින් 41 වැනියා බවට පත්වූවාය.

මේ අතර පසුගිය මලයාසියානු විවෘත පිහිනුම් තරගාවලියේදී නව ජාතික වාර්තා දෙකක් තැබූ චෙරන්ත ද සිල්වාට අපේක්‍ෂිත දක්‍ෂතා දැක්වීමට නොහැකි වී තිබූ අතර, ඔහු මහත් බලාපොරොත්තුවක් තැබූ මීටර් 100 සමනල ආර ඉසව්ව තත්.55.72කින් අවසන් කරමින් තරගකරුවන් 66ක් අතරින් 55 වැනි ස්ථානයට පත්විය. එහෙත් ඔහු පසුගියදා මලයාසියාවේදී පැවැති පිහිනුම් තරගාවලියේදී එම ඉසව්ව තත්.54.99කදී අවසන් කරමින් නව ජාතික වාර්තාවක්ද තබා තිබිණි.

මලයාසියාවේදී පැවැති පිහිනුම් තරගාවලියේදී මීටර් 50 සමනල ආර ඉසව්ව තත්.25.07කදී අවසන් කරමින් චෙරන්ත නව ජාතික වාර්තාවක් තැබුවද මෙම තරගාවලියේදී එම ඉසව්ව අවසන් කර තිබුණේ තත්.25.43කදීෙ

එහෙත් පසුගිය මලයාසියානු තරගාවලියේදී මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්.24.36කදී අවසන් කර තිබුණද මෙම තරාගාවලියේදී චෙරන්ත මෙම ඉසව්ව තත්.23.90කදී අවසන් කිරීම කැපී පෙනුණි. කෙසේ වෙතත් මෙම ඉසව්වේ ඔලිම්පික් “බී” ශ්‍රේණියේ පරිසාධන මට්ටම වී තිබුණේ තත්.23.05කි.

කෙසේ වෙතත් 2015 වසරේ මාර්තු මස 1 වැනිදා සිට මෙම වසරේ ජුලි 3 වැනිදා දක්වා කාලවකවානුව තුළ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම් සපුරා ගතහොත් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට හැකිව ඇති හෙයින් ඉදිරියේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ ජාත්‍යන්තර තරගාවලියකදී මෙම කඩඉම සපුරා ගැනීමට චෙරන්ත ද සිල්වා, කිමිකෝ රහීම් ගේ මෙන්ම මැතිව් අබේසිංහට හැකිව තිබේ.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න