මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය (TPBC) අඛණ්ඩව දෙවන වසරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් 28ක කණ්ඩායම් එකම කිරුළක් වෙනුවෙන් තරගාවලියේ දී සටන් වදිනු ඇත.

නව කණ්ඩායමකින් පෙරළියක් කිරීමට එන ආසියානු ජාත්‍යන්තර පාසල

මීළඟ පරපුරේ තාරකාවන් හට වේදිකාවක් තනාදීමේ බලාපොරොත්තුවෙන් සංවිධානය කෙරෙන ‘ThePapare’ පැසිපන්දු..

TPBC 2016 – සාරාංශයක්

පසුගිය වසරේ දී B කාණ්ඩයෙන් තරග කර එහි ශූරතාවය දිනාගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් කාන්තා කණ්ඩායම මෙවර ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලිය සඳහා එක් වන්නේ A කාණ්ඩයෙනි.

වැදගත් ක්‍රීඩිකාවන්

සඳලි පූජා

‘Power Forward’ ස්ථානයේ ක්‍රීඩා කරන සඳලි පූජා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව වේ. 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය දක්වා යන ‘3×3 FIBA Fast Track’ වැඩසටහනේ ද සාමාජිකාවක් වන ඇය පසුගිය දා අවසන් වූ 3×3 ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළාය. ඇය සතුව ඇති ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් වලට අමතරව තරගයක් අතරතුර දී නිසි පරිදි ස්ථානගත වෙමින් විවිධ අවස්ථාවන්ට හැඩගැසීමට ඇය දක්වන දක්‍ෂතාවය ද මෙම තරගාවලියේ දී ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට ප්‍රයෝජනවත් වනු ඇත.

කියාරා ඒකනායක

මෙම වසරේ දී තරගාවලිය සඳහා සහභාගී වන ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කියාරා ඒකනායක යි. පසුගිය වසරේ දී තරගාවලියේ B කාණ්ඩයේ ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ද සාමාජිකාවක් වූ ඇය මෙවර පළමු වරට සහභාගී වන ‘ThePapare’ පැසිපන්දු ශූරතාවලියේ දී ද ප්‍රබල යමක් කිරීමට හොඳ දැක්මකින් පසුවන බව නොඅනුමාන ය. ‘Point Guard’ ස්ථානයේ ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ප්‍රහාරාත්මක සහ ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව මෙහෙයවීමේ වගකීම ඇය සතු වේ.

කණ්ඩායම 

ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම ඉතා තරුණ කණ්ඩායමක් වන අතර පසුගිය වසරේ B කාණ්ඩයේ තරගාවලිය සඳහා සහ අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමම මෙම තරගාවලිය සඳහා ද ක්‍රීඩා කරනු ලබයි. කෙසේ නමුත් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය බොහෝ දුරට රැඳී තිබෙන්නේ කියාරා ඒකනායක, සඳලි පූජා සහ යිෂෙල් ෆේන්ඩර් යන ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන ආකාරය මතයි. සඳලි පූජාට අමතරව දෙච්නි වික්‍රමආරච්චි ද 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය දක්වා යන ‘3×3 FIBA Fast Track’ වැඩසටහන නියෝජනය කරනු ලැබීය.

සමස්තයක් ලෙස ගත් කළ කණ්ඩායමක් වශයෙන් ඔවුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් වන අතර කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය ද ඉතා ඉහළ මට්ටමක පවතී. ඊට අමතරව කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවක්ම තරගයක දී කණ්ඩායම වෙනුවෙන් තමා සතුව ඇති කාර්යභාරය ද හොඳින් දැන සිටී. එමෙන්ම කණ්ඩායම ප්‍රහාරාත්මක මෙන්ම ආරක්ෂාකාරී යන අංශ දෙකෙන්ම ඉතා සමබර කණ්ඩායමකි. ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම තවමත් පහළ මට්ටමේ කණ්ඩායමක් වුවත්, A කාණ්ඩය තුළ දී ද ඔවුන්ට ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් ලබා දිය හැකි බව කණ්ඩායමේ නායිකාව විශ්වාස කරයි.

ඒ අනුව A කාණ්ඩයේ ඇති තරගකාරීත්වය වටහා ගෙන ඇති ඔවුන් සතියකට පුහුණු වාර 4ක් දක්වා ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු ඉහළ නංවා ඇත. එහි දී ඔවුන් මූලික අවධානය යොමු කර ඇත්තේ ශාරීරික යෝග්‍යතාවය, මූලික කුසලතා පුහුණුව සහ විවිධ තරග අවස්ථාවන් සඳහා ය. ඒ අනුව ඔවුන් මානසික වශයෙන් ද සූදානම්ව A කාණ්ඩයේ ක්‍රීඩා කිරීමේ අභියෝගය බාරගැනීමට සූදානමෙන් පසුවෙයි.

නායිකා කියාරා ඒකනායක,

“මෙම වසරේ ඉන්න කණ්ඩායම ගැන මම සතුටට පත්වෙනවා. ඒ වගේම මට විශ්වාසයි පිටිය තුළ දී මෙන්ම ඉන් පිටත දීත් මට ඔවුන්ගේ සහයෝගය තියෙනවා කියලා. ඒ වගේම මට ඔවුන්ගේ හැකියාවන් ගැනත් හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා A කාණ්ඩයේ ඉන්න අනෙක් කණ්ඩායම් වල හොඳ තරගයක් දෙන්න අපිට පුළුවන් වෙයි කියලා.”

ප්‍රධාන පුහුණුකරු තරිඳු ප්‍රනාන්දු,

“මේ වසරේ දීත් අපිට සිටින්නේ ඉතාමත් තරුණ කණ්ඩායමක්. නමුත් ඔවුන් ඉතාමත් දක්‍ෂයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට A කාණ්ඩයෙන් හොඳ තරගයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම හිතන විදිහට A කාණ්ඩයේ අවසන් ස්ථානය ලබාගන්න එක හොඳයි B කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නවාට වඩා. මොකද එතකොට අපිට හැමවෙලේම හොඳ අභියෝගයක් තියෙනවා. ඒ හරහා අපිට අපේ දක්‍ෂතා ඉහළ නංවා ගන්න පුළුවන්. අපේ අනෙක් හැම කණ්ඩායමක්ම සිටින්නේ ඒ අදාළ අංශ වල A කාණ්ඩයේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට කාලයත් එක්ක දක්‍ෂතා ඉහළ නංවාගෙන මේ තරගවලියේ කාන්තා අංශයේ ඉහළටම එන්න පුළුවන් වෙයි කියලා.”

සංචිතය

කියාරා ඒකනායක (නායිකාව), යිෂෙල් ෆේන්ඩර්, අභිනාණි ප්‍රනාන්දු, ෂනෙල් ඩයස්, තරිඳුනී රොද්‍රිගු, සඳලි පූජා, දෙව්නි වික්‍රමආරච්චි

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට