දැල්පන්දු කුසලානයට බලාපොරොත්තු තබා ගත හැකි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

590

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම “ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලියට” සහභාගී වීමට නියමිත අතර එම තරගාවලිය අද (08) බොස්ට්වානා හි ගැබොරෝන් නුවර දී ආරම්භ වේ. 

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා ‘A’ කාණ්ඩයෙන් තරග වදින අතර පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් නවසීලන්තය සහ සාමෝවා, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය ද එම කාණ්ඩයෙන් තරගාවලියට සහභාගී වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවේ 2015 වසරේ දී 9 වන වරට පවත්වනු ලැබූ ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වීමත් සමඟ ය.

යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානමින්

අර්බුදකාරී මාස 3ක කාලයකින් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම 8 වන වරටත් පැවැත්වීමට නියමිත යොවුන් දැල්පන්දු ලෝක….

එම කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වූ ගෝල රකින ක්‍රීඩිකා ගයනි දිසානායක ය. ඇය 2012 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත්, 2009 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායමත් නියෝජනය කර තිබූ අතර එම කණ්ඩායමේ උපනායකත්වය දැරූ තිෂලා අල්ගම ද ඒ හා සමාන අත්දැකීම්වලින් යුක්ත විය. ඊට අමතරව දුලංගි වන්නිතිලක සහ ගයාන්ජලී අමරවංස යන ක්‍රීඩිකාවන් ද ඒ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළාය. ඒ අනුව ගයනි, තිෂලා සහ ගයාන්ජලී ක්‍රීඩිකාවන් තිදෙනා එම වසරේ මුල භාගයේ දී පැවති ලෝක දැල්පන්දු කුසලාන තරගාවලිය සඳහා ද ඒ වන විට සහභාගී වී තිබුණ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම එවන් අත්දැකීම් බහුල කණ්ඩායමක් නොවුණත්, කණ්ඩායම තුළ දක්‍ෂ පාසල් වයසේ ක්‍රීඩිකාවන් සහ නැඟී එන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම සිටින අතර ඔවුන් ද 2015 වසරේ දී ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් මෙන්ම දක්‍ෂතාවලින් යුතු ක්‍රීඩිකාවන් වේ.

ඒ අනුව ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ සිටින වැදගත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පිළිබඳව විවරණයක් කරන්නට ThePapare.com කටයුතු කළේය.

මන්දිරා චාරුණී

MandiraGD ස්ථානයේ ක්‍රීඩා කරන මන්දිරා චාරුණී ශ්‍රී ලංකාවේ සිටින දක්‍ෂතම GD ක්‍රීඩිකාවන් අතරින් කෙනෙක් ලෙස සැලකේ. මෙම කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද පැවරී ඇත්තේ ඇයට යි.

 “මම විශ්වාස කරන විදිහට මන්දිරා ශ්‍රී ලංකාවේ හොඳම GD ක්‍රීඩිකාවන් 05 දෙනා අතර සිටිනවා”ආසියානු යොවුන් කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනී ලෙස කටයුතු කළ තමරා ලියනගේ මහත්මිය මන්දිරා පිළිබඳව පවසා සිටියේ එසේය.

2016 වසරේ වෙළඳසේවා දැල්පන්දු ලීග් තරගාවලියේ දී හොඳම ආරක්‍ෂක ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට මන්දිරා සමත් විය. 2015 වසරේ දී ආසියානු ශූරතාවය දිනා ගත් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ඇයට අහිමි වූයේ තරගාවලිය ආරම්භයට දින කිහිපයකට පෙර ආබාධයකට ලක්වීම නිසාය.

ඇයගේ උස ඇයට ප්‍රයෝජනයක් වුවත් ජාත්‍යන්තර තලය තුළ සිටින ක්‍රීඩිකාවන් හා කරට කර තරග වැදීමේ දී මන්දිරාගේ ශාරීරික ශක්තිය ප්‍රමාණවත් නොවීම ඇයට අභියෝගයක් වනු ඇත.

කවීනා රාජපක්ෂ  

Kaveena2017 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී විශිෂ්ට අන්දමින් දස්කම් දැක්වීමෙන් අනතුරුව කවීනා රාජපක්ෂ හට ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උපනායකත්වය පිරිනමා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට 4 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ ආසියානු ශූරතාවලියේ දී කවීනා GS ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 300 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ගන්නට සමත් වුණේ ප්‍රහාර සාර්ථක කර ගැනීමේ 90% ඉහළ ප්‍රතිශතයක් ද සමඟ යි.

කෙසේ වුවත් ලෝක කුසලානයට මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබිය දී ඇයට GS ස්ථානයේ සිට GA ස්ථානය දක්වා මාරු වීමට සිදු විය. එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට නම් ඇයට ශාරීරික යෝග්‍යතාවය සහ කුසලතාවන් වර්ධනය කර ගැනීමට සිදු වූ අතර ඊට අමතරව අයගේ බර ද අඩු කර ගැනීමට සිදු විය.

“අපි එම ස්ථානයට ඇයව හැඩගස්වන්න ඇයගේ ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන් ඉහළ නැංවුවා. මේ වන විට ඇය එම ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරනවා.”කවීනාගේ ස්ථාන මාරුව පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී අමල්කා ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය.

“මම පාසලේ දීත් ක්‍රීඩා කළේ GS ස්ථානයේ පමණයි. මම මීට කලින් කවදාවත් GA ස්ථානයේ ක්‍රීඩා කරලා නැති නිසා මේක මට නව අත්දැකීමක් වෙයි. මම හිතනවා එම ස්ථානයට මම දැන් හොඳින් හැඩගැසිලා ඉන්නවා කියලා. ඒකට පුහුණුකරුවන් ලොකු සහායෝගයක් ලබා දුන්නා. මගේ ශාරීරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. සර් (ආනන්ද වන්නිතිලක) මාව වෙනමත් අරගෙන මගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවන්න කටයුතු කළා.”

නව ස්ථානයට හැඩගැසීම පිළිබඳව අදහස් දක්වමින් කවීනා ප්‍රකාශ කළාය.

කෙසේ නමුත් එම නව ස්ථානයේ මීට පෙර කිසිදු තරගාවලියක ඇය ක්‍රීඩා කර නොමැති අතර මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ඇයට එය විශාල අභියෝගයක් වනු ඇත. අනෙක් පසින් තාමත් ඉතාමත් තරුණ අවධියේ පසුවන ඇයට මෙය හොඳ අත්දැකීමක් ද වනු ඇති බව නොඅනුමානයි.

මෙලනි විජේසිංහ

Mellonyඅඩි 6’1” ක උසකින් යුතු 15 වන වියේ පසුවන මෙලනි විජේසිංහ අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් රැසක්ම බිහිකර ඇති කොළඹ විශාඛා විද්‍යාලයේ ය. ඇයගේ  දස්කම් සොයා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකාරිනියක් වන හයසින්ත් විජේසිංහ මහත්මිය විසිනි.

GS ස්ථානයේ ක්‍රීඩා කරන මෙලනි මයිලෝ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ තරග අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

කණ්ඩායමේ පුහුණුකාරිනියන් සියලු දෙනාම ඇයගේ දක්‍ෂතාවන් ඇගයීමට ලක් කරයි. ඇය යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ ඒකාබද්ධ කරන ලද කණ්ඩායම් සමඟ පැවති පුහුණු තරගවල දී ද ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. එහි දී මෙලනිට ඇයට වඩා වසර 10ක් පමණ වයසින් වැඩි ක්‍රීඩිකාවන් සමඟ තරග වැදීමට සිදු වූ අතර ඇයගේ වයසට වඩා දක්‍ෂතාවන් මුහුකුරා ගොස් ඇති බව ඇය එම තරගවල දී සනාථ කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය දරන GK ස්ථානයේ ක්‍රීඩා කරන ගයනි දිසානායක ද මෙලනි හමුවේ ක්‍රීඩා කිරීමේ දී දැඩි අභියෝගයකට මුහුණ පෑවේය.

“ඇය උපතින්ම දක්‍ෂ ක්‍රීඩිකාවක්. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. ඇය තාමත් 15 වන වියේ සිටින්නේ. ඒ නිසා ඇය අපි හොඳින් කළමනාකරණය කර ගත යුතුයි. ජාත්‍යන්තර තලයට ඇය තාම පුරුදු නැහැ. ඒ නිසා මෙම ලෝක කුසලානය ඇයට හොඳ අත්දැකීමක් වෙයි. ඒ වගේම ලෝක කුසලානයේ තරගවල දී ද ඇය ක්‍රීඩා කරන කාලය, විවේක ගන්වන කාලය පිළිබඳව අපි නිවැරදිව තීරණය කළ යුතුයි. එතකොට අපිට ඇයගේ උපරිම දක්‍ෂතාවය ලබා ගන්න පුළුවන්.”

ThePapare.com සමඟ අදහස් දක්වමින් හයසින්ත් විජේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

සචිනි රොද්‍රිගු

Sachiniකණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව වන සචිනි ජාත්‍යන්තර තලයේ තරග 10කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත. 2015 වසරේ දී ආසියානු ශූරතාවය දිනා ගත් කණ්ඩායමෙන් ඉතිරිව සිටින ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් කෙනෙක් වන ඇය එම තරගාවලියේ සෑම තරගයක්ම ක්‍රීඩා කරනු ලැබුවේ ‘Center (C)” ස්ථානයේ ය.

පසුගිය කාලයේ විවිධ මතභේදාත්මක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වුවද, ආසියානු ශූරතාවලි දෙකකට සහභාගී වී ඇති කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩිකාව වශයෙන් ඇය මෙම ලෝක කුසලානයේ දී අයගේ වගකීම හොඳින් ඉටු කරනු ඇති බව නොඅනුමානයි.

ඇය ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන නිසා සමස්ත කණ්ඩායමේම ක්‍රීඩා රටාව භ්‍රමණය වන්නේ ඇය වටාය.

සිහිපත් කළ යුතු අනෙක් ක්‍රීඩිකාවන්    

තරුෂි ඉල්ලංගරත්න සහ සුසීමා කුමාරි කණ්ඩායම තුළ සිටින පාසල් ක්‍රීඩිකාවන් 06 දෙනාගෙන් දෙදෙනෙකි.

විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩි 5’8” ක් උසැති 18 වන වියේ පසුවන තරුෂි GK ස්ථානයේ ක්‍රීඩා කරනු ලබයි. මෙම වසරේ පැවති ආසියානු ශූරතාවලියේ සෑම තරගයක දීම ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.

සුසීමා කුමාරි අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ දැල්පන්දු ක්‍රීඩාවෙන් ඉහළින්ම සිටින කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ය. සුසීමා ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරනු ලැබුවත් ඇයට WD සහ WA ස්ථානවල ද ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත. එමෙන්ම 2016 වසරේ සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ තරග අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ද ඇය සමත් විය.  

 >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<