කවිඳු පෙරේරා සංචිතයෙන් ඉවතට

390
Kavindu Perera

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන කවිඳු පෙරේරා හට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර සඳහා නම් කරන ලද කණ්ඩායමෙන් ඉවතට යාමට සිදුව ඇත. ඒ ඔහුගේ පාදයේ කළව ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙනි.

වයස අවුරුදු 24ක තරුණ ජවසම්පන්න ක්‍රීඩකයෙකු වන කවිඳු, මෙම තරගාවලියට සමගාමීව හොංකොං හි දී පැවැත්වූ පළමු අදියරේ දී දකුණු පාදයේ කළව ප්‍රදේශයේ ආබාධයට ලක්විය. ඒ නිසා පසුව පැවැත්වූ පලඟ අවසන් පූර්ව තරගයට හා එහි අවසන් තරගයට ඔහු සහභාගි වූයේ නැත. ඒ යම් හෙයකින් එම ආබාධය තව තවත් උග්‍රවිය හැකි නිසාවෙනි.

පළමු අදියරේ පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ප්‍රථම අදියර අද (02) ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව නිමාවට…

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි රග්බි ක්‍රීඩකයෙක් වන මොහු, වර්තමානයේ CR & FC ක්‍රීඩා සමාජය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙකි. මෙම ආබාධය සමඟින් ක්‍රීඩා කළහොත් ඔහුට මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ දී (කොළඹ තුරග තරග පිටියේ දී) පැවැත්වෙන තෙවන අදියර සඳහා ද සහභාගි වීමට අවස්ථාව නොලැබීමට ඇති හැකියාව මත ඔහුව දකුණු කොරියාවේ දී පැවැත්වෙන දෙවන අදියර සඳහා සහභාගි නොකිරීමට තීරණය කර ඇත.

නාවික හමුදා රග්බි ක්‍රීඩා සමාජයේ fly-half ස්ථානයේ ක්‍රීඩා කරන චානක චන්දිමාල් ද, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර, ඔහු ද ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම මෙම තරගාවලියේ පළමු අදියර සඳහා දිවයිනෙන් පිටත්ව යාමට දින දෙකක් තිබිය දී පැපොල රෝගය වැළදීම නිසාවෙන් එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට නොහැකි විය. නමුත් පසුගිය සිකුරාදා දෙවන අදියර සඳහා පුහුණුවීම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම තුල චානක චන්දිමාල් සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට සුභදායී ලකුණකි.

මීට අමතරව රිචඩ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා දනුෂ්ක රංජන් වැනි දක්ෂ ක්‍රීඩකයින් ද පුහුණුවීම් කටයුතු සිදු කරනු දැක ගන්නට හැකි විය. ඔවුන්ට ද මෙම තරගාවලියේ පළමු අදියර මඟහැරිණි.

හොංකොං හිදී අවසන් වුන එම පළමු අදියර තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 5වන ස්ථානය ජයග්‍රහණය කිරීමට හැකි විය. එහි නායකත්වය ගෙන ක්‍රියා කළේ සුදර්ශන මුතුතන්ත්‍රි විසිනි. මෙහි ඉදිරි අදියරයන් ද්විත්වය තුල ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම පළමු අදියරට වඩා කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<