සංගක්කාරගේ හිඩැස වසන්නට කරුණාරත්නට හැකි වේද?

346

සංගක්කාර සිය ක්‍රීඩා දිවිය නිමා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ විශිෂ්ටතම ඉනිමක සාමාන්‍ය ලෙස 57.40ක සාමාන්‍යයක් රඳවා ගනිමින් වූ අතර සිය ක්‍රීඩා දිවිය පුරා ලොව හොඳම ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී සිටින්නට ඔහු සමත් විය.

කෙසේ වුවත් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරග දෙකේ දී ඉනිම හතරේ දී ම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ හත්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේ සංගක්කාර විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවෙකු ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය සනිටුහන් කරමිනි.

“ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව මැතිව්ස්”- සංගක්කාර

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සාර්ථක වීමට නම් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බව සංගක්කාර ප්‍රකාශ කර සිටියා. ඔහු මේ අදහස් දැක්වූයේ ICC නිල වෙබ්…

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරග දෙකම පැවැත්වුණේ පිතිකරුවන්ගේ දක්ෂතාව හා තාක්ෂණය හොඳින්ම පරික්ෂාවට ලක්වන තණතිලිවලයි. හෂීම් අම්ලා වැනි සුපිරි පිතිකරුවෙකුට වුවත් හරිහැටි සිය ආරක්ෂක පහර ක්‍රියාත්මක කරන්නට නොහැකි වූ අතර කිහිප වරක්ම පිත්තේ ගැටුණු පන්දුව පා ආවරණයේ ද වැදී ගුවන් ගත වුණේ පිතිකරුවා අසලම පන්දු රැකීමේ යෙදුණු ශ්‍රී ලංකා පන්දු රකින්නන් තරගයට රැගෙන එමිනි.

තරගාවලිය පුරා දිමුත් පන්දු යවන්නට සිත්සේ පහර දුන් අතර ඉනිම හතරේ දී ම අර්ධ ශතකයක් හෝ රැස්කර ගත් ඔහු තරගාවලිය අවසන් කළේ ලකුණු 118ක සාමාන්‍යයකින් ලකුණු 356ක් රැස්කර ගනිමිනි. ගාලු ක්‍රීඩාංගණයේ ඉනිම අරඹා නොදැවී ක්‍රීඩා කළ සිව්වැනි පිතිකරු ලෙස ඔහු ඉතිහාසගත වුනේ නොදැවුණු ලකුණු 158ක් වාර්තා කර ගනිමිනි.

දිමුත්ගේ පාසල් සමයේ පුහුණුකරු වූ හර්ෂ ද සිල්වා නැවත හමුවීමත් සමඟ ඔහු ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ දී වෙනස්කම් කිහිපයක් සමඟින් පිටියට පිවිසුණු අතර ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් හිදී පාකිස්තානයේ අපරාජිත වාර්තාව බිඳ හෙළද්දී, දිමුත් සුපිරි දස්කම් දක්වන්නට සමත් විය. 2017 වසරේ දී ටෙස්ට් ලකුණු 1000ක් රැස්කර ගැනීමට දිමුත් සමත් වූ අතර එය ද සංගක්කාර විශ්‍රාම ගිය පසු පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වසරක් තුල දී ලකුණු 1000හේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාවයි.

කරුණාරත්න දඟපන්දු යවන්නන්ට මෙන්ම දඟපන්දු යවන්නට ද ඉතා හොඳින් පිතිකරණයේ යෙදෙන අතර ඔහුගේ ඉවසීම දිගු ඉනිම්වලට පාර කපයි. ඩුබායි හිදී සිය හොඳම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන ලකුණු 196 සඳහා ඔහු පැය නවයයි මිනිත්තු පහළොවක් පිතිකරණයේ යෙදුණේ අධික උෂ්ණාධික කාලගුණය මධ්‍යයේය. ටිකින් ටික සිය අත්දැකීම් ද සමඟින් දිමුත් තරග දිනවන ක්‍රීඩකයෙකු බවට පත්වෙමින් ඇත.

පසුගිය තරගාවලි කිහිපය පුරා දඟපන්දුවට පිළිතුර ලෙස බොහෝ පිතිකරුවන් ස්වීප් පහර යොදා ගන්නා ආකාරය දක්නට ලැබුණි. දකුණු අප්‍රිකානු පිතිකරුවන් උවමනාවට වඩා එම පහර යොදා ගත් අතර එයම ඔවුන්ගේ පරාජයට හේතුවක් විය. ස්වීප් පහරින් ලකුණු ලැබෙනවා වුවද එය එතරම් ආරක්ෂාකාරී නොවන පහරක් වන්නේ සුළු අත්වැරදීමකින් පන්දුව පිත්තේ ඉහළ දාරයේ වැදී ගුවන් ගත වීමට වැඩි ඉඩකඩක් ඇති හෙයිනි. කරුණාරත්න දඟපන්දු යවන්නට ඉතා හොඳින් පහර දුන්නේ සිය පාද යොදාගෙන පන්දුව පැමිණෙන ස්ථානයට ගොස් පන්දු රකින්නන් අතරින් පන්දුව තල්ලු කරමින් මිස සෑම අවස්ථාවකම ස්වීප් පහර යොදාගෙන නොවේ.  

දිමුත්ගේ පිතිකරණයේ රාහුල් ඩ්‍රාවිඩ් භාවිතා කළ උපක්‍රම කිහිපයක් ද දක්නට ලැබේ. පන්දු යවන්නන් ඔහුව මානසික අස්ථාවර කිරීමට යොදාගන්නා උපක්‍රමවලින් ඔහු කලබල වන්නේ නැත. ඔහු පසුපස හැරී නැවත පන්දුවට පහර දීමට සූදානම් වන අතර ඔහු පන්දු යවන්නෙකු හෝ පන්දු රකින්නෙකු සමඟ උණුසුම් ලෙස අදහස් හුවමාරු කරගන්නේ ඉතා කලාතුරකිනි. පිටියෙන් ඉවත දී ද ඔහු ඉතා සන්සුන් චරිතයක් වන අතර ඔහුගේ පිතිකරණයෙන් ද ඒ බව මනාව දිස්වේ.

ගාලු ටෙස්ට් ක්‍රිකට් තරග අතරතුර සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් දිමුත් දවාගැනීමේ අරමුණින් දිගින් දිගටම කෙටි පන්දු යොමු කළ අතර එක්වරම හුක් පහරකට ගිය දිමුත් ඩීප් ෆයින් ලෙග් කලාපයේ පන්දු රකින්නන්ට ඉහළින් ලකුණු හයක් රැස්කර ගත්තේය. කෙසේ වුවත් තමාගේ ඉවසීම බිඳ වැටුණු බව දිමුත් ක්ෂණිකව අවබෝධ කර ගත් අතර ඉන්පසු තරගය පුරා ඔහු පුල් පහරවල් හෝ හුක් පරහරවල් භ‍ාවිතා කළේ නැත.

ටෙස්ට් ක්‍රිකට් ඉනිමකට පිවිසෙන විට දිමුත් ඉතා සංවිධානාත්මක ලෙස කටයුතු කරයි. වත්මත් ශ්‍රී ලංකා සංචිතයේ ඇතැම් පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට ඉතා හොඳින් පහර දෙන අතර ඇතැම් පිතිකරුවන් දඟපන්දු යවන්නන්ට ඉතා හොඳින් ක්‍රීඩා කරයි. මේ ලෙසම ඇතැමුන් පා දඟපන්දුවට හොඳින් ක්‍රීඩා කරද්දී ඇතැමුන් පිට දඟපන්දුවට හොඳින් පිත්ත හසුරුවයි. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සියලුම ආකාරයේ පන්දු යවන්නන්ට අපහසුවකින් තොරව පහර දෙන එකම පිතිකරුවා දිමුත් කරුණාරත්න යැයි කිවහොත් නිවැරදිය. ඔහු ආරම්භයේ දී ඉතා ඉවසීමෙන් පන්දුවට පහර දෙන අතර පන්දු යවන්නන් වෙහෙසට පත්වූ පසු ඔවුන්ගේ පන්දුවලින් උපරිම ප්‍රයෝජනය ගනී.  

සෑම පිතිකරුවෙකු මෙන්ම ඔහු ද වරින් වර අසාර්ථක වනු ඇත. නමුත් දිමුත්ගේ තාක්ෂණය හා ඉවසීම අනුව තරගාවලියක එක ඉනිමක හෝ ඔහු තරග දිනවන ශතකයක් වාර්තා කරනු ඇත. ඔහු විශාල ලකුණු ගණනක් ක්‍රීඩා කරන පිතිකරුවෙකු ලෙස සැලකිය හැක්කේ ඔහුගේ හොඳම ඉනිම හතර – ලකුණු 196, 186, 158, හා 152කක් ලෙස සටහන් වන බැවිනි.

කරුණාරත්න දකුණු අප්‍රිකාව සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියට අමතර ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති අතර තිලාන් සමරවීර 2011 ලෝක කුසලානයේ දී එක්දින සංචිතයට කැඳෙව්වාක් මෙන් දිමුත් ද එක්දින තරගාවලියට කැඳවන්නට ඉඩ ඇති බව පෙනී යයි. එක්දින සංචිතයේ විශේෂඥ ස්ථාවර පිතිකරුවන්ගේ අඩුපාඩුව මෙයින් හොඳින්ම පෙනී යන අතර මේ කරුණ නිසා විශේෂඥ ටෙස්ට්  පිතිකරුවෙකු කණ්ඩායමට ඇතුළු කර ක්‍රීඩා කරවා බැලීමට තේරීම් කමිටුවට සිදුවී ඇත. තවත් ලෙසකින් කියන්නේ නම් ශ්‍රී ලංකා එක්දින පිතිකරුවන්ගේ ඉවසීම හා තාක්ෂණය එතරම් හොඳ නොවන අතර කණ්ඩායමට ඉනිම අවසන් වන තෙක් පිතිකරණයේ යෙදෙන පිතිකරුවෙකු අත්‍යවශ්‍ය වේ.

මේ ආකාරයට ටෙස්ට් පිතිකරුවෙකු යොදාගැනීමේ උපක්‍රමය සුපිරි පිතිකරුවන් රැසක් සිටි 2011 ලෝක කුසලාන කණ්ඩායමට සාර්ථක වූ නමුත් වත්මන් කණ්ඩායමට මේ උපක්‍රමය සාර්ථක වේ දැයි සොයා බැලිය යුතුය. සමරවීර කණ්ඩායමට කැඳවද්දී දිල්ශාන්, ජයවර්ධන හා සංගක්කාර කණ්ඩායමේ සිටි අතර ඒ නිසා සමරවීරට ඔහුගේ ආකාරයට පිතිකරණයේ යෙදීමට අවස්ථාව හිමි වුණි. නමුත් වත්මන් එක්දින සංචිතයේ එවැනි විශ්වාසදායි පිතිකරුවන් නොමැති අතර පසුගිය වසරේ දී පමණක් 5-0 තරගාවලි පරාජ තුනකට ශ්‍රී ලංකාව මුහුණ දීම තේරීම් කමිටුවත් උභතෝකෝටික අර්බුදයකට ඇද දැමීමට හේතුවක් විය.

නමුත් තවත් ගැටලුවක් වන්නේ දිනේෂ් චන්දිමාල් හා දිමුත් කරුණාරත්න යන දෙදෙනාම එක්දින කණ්ඩායමට ක්‍රීඩා කරවීමට හැකිවේද යන්නයි.

එක්දින පිටියේ වත්මන් සාර්ථක කණ්ඩායම් සියල්ල ප්‍රහාරාත්මක පිතිකරණයකට කැමැත්තක් දක්වයි. පවර් ප්ලේ අවස්ථාවල දී වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ඔවුන් මාන බලයි. ඉන්දියාවට රෝහිත් ශර්මා හා ශිකර් ධවාන් සිටියි. එංගලන්තය ජෝස් බට්ලර් හා ජේසන් රෝයි යොදාගෙන වේගයෙන් ලකුණු රැස් කරයි. එබැවින් කරුණාරත්න යොදාගැනීම කණ්ඩායමට කෙතරම් යෝග්‍ය වේ දැයි දෙවරක් සිතා බැලිය යුතුය.

Rex Clementineගේ ‘Karunaratne emerges as best batsman since Sanga’ ලිපියේ සිංහල පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<