තරගාවලියට අභියෝග කරමින් මහනුවර සටනට

478

මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම් අතර සිය නාමය ඉහළින්ම රඳවා සිටින ප්‍රබල කණ්ඩායමක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය හැඳින්විය හැක.

පසුගිය ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය හිමි කර ගත් මහනුවර ක්‍රීඩකයින්, මෙවර තරගාවලියට පිවිසෙන්නේ ලබාගත් ශූරතාව ගිලිහි යාමට නොදී රැක ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. 2017/2018 තරග වාරය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය මෙහෙයවීමේ වගකීම ‘center’ ක්‍රීඩක ගයාන් වීරරත්නට හිමි ව තිබේ.

විජයග්‍රහණයකට සැරසෙන ප්‍රබල නාවිකයෝ

පසුගිය ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනූ නාවික හමුදා රග්බි කණ්ඩායම…

අතීතයෙන් බිඳක්

වර්ෂ 1874 දී ආරම්භ කරන ලද මහනුවර ක්‍රීඩා සමාජය මේ දක්වා ශ්‍රී ලංකාව තුල සාර්ථකම රග්බි කණ්ඩායම ලෙස නම් දරා තිබේ. ප්‍රතිවාදී කණ්ඩායම් අභිබවා යමින් ක්ලිෆර්ඩ් කුසලාන ශූරතා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ද මහනුවර ක්‍රීඩා සමාජයට හැකි ව තිබේ.

2000 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුල අඛණ්ඩව වසර නවයක් පුරාවට ශූරතාවය දිනා ගනිමින් අපරාජිත තරග වාර්තාවක් පවා බිහි කිරීමට මහනුවරට හැකි ව තිබේ.

පසුගිය තරග වාරය

ඉතා සාර්ථක තරග වාරයක් නිමාවට පත්කරමින් 2016/2017 තරග වාරයේ දී මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. තමන් සහභාගි වූ තරග 14න් 12ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 75ක් ලබාගෙන එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් විය. ඒ අනුව පසුගිය තරග වාරය තුල ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය.

මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 16ක් ලබා ගනිමින් උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් වූ අතර එහි දෙවන ස්ථානය දිනා ගැනීමට උත්සාහක දිනුම් 12ක් ලබාගත් රිචඩ් ධර්මපාලට හැකි විය.

එසේම වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වන ස්ථානය දිනා ගැනීමට තිලිණ විජේසිංහ සමත් වූයේ ලකුණු 118ක් රැස්කර ගනිමිනි.

මහනුවර කණ්ඩායමේ ප්‍රබලයෝ

පසුගිය තරග වාරය තුල දී මෙන්ම මෑතක දී විදේශ කණ්ඩායම් සමඟ තරග වැදී ඉන් ලබාගත් පන්නරය හරහා මෙවර ද කුසලානය තමන් සතුකර ගැනීමේ අදිටනින් මහනුවර ක්‍රීඩකයෝ තරග බිමට පිවිසෙනු ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙන්ම නවක ක්‍රීඩකයන් රැසකගෙන් ද සමන්විත මහනුවර සංචිතය පුහුණු කිරීමේ වගකීම භාර වී ඇත්තේ ෂෝන් මාර්ක් විජේසිංහට යි. ඉතා විශිෂ්ට පුහුණුකරුවෙකු වන විජේසිංහ යටතේ පසුගිය ශූරතාවය ද ජයග්‍රහණය කරන්නට මහනුවරට හැකි විය.

කණ්ඩායම තුල සිටින ප්‍රබල ක්‍රීඩකයන් ලෙස රිචඩ් ධර්මපාල (wing), ධනුෂ්ක රන්ජන් (center), තිලිණ විජේසිංහ (full back), ෆාසිල් මරීජා (fly half), අනුරුද්ධ විල්වර (wing), ජේසන් දිසානායක (flanker), සහිරු ඇන්තනි (second row) වැනි ක්‍රීඩකයින් දැක්විය හැකිය. පසුගිය තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් ලබාගත් ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල සංචිතය තුල සිටීම මහනුවරට ප්‍රබල සවියක් වනු නොඅනුමානයි.

කණ්ඩායම මෙහෙය වීමේ වගකීම බාරව සිටින ගයාන් වීරරත්න තරගාවලියේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දක්වනු ඇත. ජ්‍යෙෂ්ඨ මෙන්ම නවකයින් රැසකගෙන් සමන්විත මෙම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාම ගයාන්ට ඇති අභියෝගය යි.

මහනුවරට එක් වූ නවකයෝ

මහනුවර ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨයන්ට අමතරව නවක මුහුණු කිහිපයක් ද මෙවර සංචිතයට එක්වී තිබේ. ජ්‍යෙෂ්ඨයින් සමඟ එක්වී ජයග්‍රහණය වෙත යාම සඳහා ඔවුන්ගේ ශක්තිය හැකි උපරිමයෙන් යෙදවීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ෂෙහාන් ජන්ශෙන්, ලක්ෂිත රණවීර, චතුර සෙනවිරත්න, කසුන් ශ්‍රීනාත්, තරිදු චතුරංග, සනුෂ්ක අබේවික්‍රම මහනුවරට එක්වූ නවක මුහුණු ය. පසුගිය කාලය තුල මොවුන්ගේ දස්කම් ඉතා ඉහළ මට්ටමක පැවති අතර ඩයලොග් රග්බි ලීග් තරගාවලිය තුල එම දස්කම් තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමට අවස්ථාව හිමිවනු ඇත.

බලාපොරොත්තුව

ගියවර ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසෙන්නේ මෙවර ද කිරුළ දැරීමේ ඒකායන අරමුණෙනි. ගියවර දැක්වූ දක්ෂතාවලට වඩා තවත් ඉහළ දක්ෂතා පෙන්වා ඩයලොග් රග්බි කිරුළ දිනා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

2017/18 – Kandy SC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2210499″]