කොළඹ කොලීජි දණ ගැස්වූ කළුතර ටෙනිස් පොඩ්ඩෝ

429
Kalutara College Tennis feature

ටෙනිස් යනු අධිරාජ්‍යවාදී ක්‍රීඩාවකි. එසේත් නැත්නම් සුද්දන්ගේ ක්‍රීඩාවකි. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ජේත්තුකාර ක්‍රීඩාවකි. ටෙනිස් ක්‍රීඩාව මෙවැනි නම්වලින් හැඳින්වීමට එහි පැවැත්ම බොහෝ විට ඉවහල් විය.

නමුත් මේ සියල්ලට අභියෝග කරමින් පසුගිය දා කළුතර විද්‍යාලයීය ටෙනිස් පොඩ්ඩෝ සමස්ත ලංකා අන්තර් පාසල් ඒ කොටසේ වයස අවුරුදු 8න් පහළ කණ්ඩායම් අනුශූරතාව දිනා ගන්නා ලදි. ශූරයන් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමයි.  

යෙහෙළිය නිසා බැඩ්මින්ටන් ලොව ජයගත් තිළිණි

කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගිය දා නිමා වූ 65 වැනි ජාතික බැඩ්මින්ටන්..

සාමාන්‍යයෙන් මෙවැනි සටහනක් තැබෙන්නේ ජයග්‍රාහී කණ්ඩායමක් පිළිබඳවය. නමුත් ThePapare.com ඉන් මදක් ඔබ්බට ගොසින් කළුතර ටෙනිස් පොඩ්ඩන්ගේ පුනරුදය සම්බන්ධව සොයා බැලීමට සිතුවෙමු.

ඊට ප්‍රථම ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද කෙටි සොයා බැලීමක් කළෙමු. ලෝකයට ටෙනිස් හඳුන්වා දී ඇත්තේ ක්‍රීඩාවන් වැඩි ප්‍රමාණයක් හඳුන්වා දී ඇති ඉංග්‍රීසි ජාතිකයෝ ම ය. ආරම්භය 11 වැනි ශත වර්ෂය දක්වා දිවයයි. එය ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වී යැයි පැවසෙන්නේ 19 වැනි ශත වර්ෂයේය.

ශ්‍රී ලංකාවට ටෙනිස් හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ 1913 සිට 1915 වසර දක්වා මෙරට ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් රොබට් චාමර්ස් මහතා වෙත ය. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ආරම්භක සභාපති වන්නේ ද ඒ මහතා ය. කෙසේ වෙතත් ආරම්භයේ දී අනෙකුත් රටවල් සේ ම මෙරට දී වුව බොහෝ විට ටෙනිස් ක්‍රීඩාවේ යෙදී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ම පමණකැයි පැවසේ. සිංහලයන්, ද්‍රවිඩයන්, මුසල්මානුවන් සේ ම අනෙකුත් ජාතිකයන් ද බෝල අහුලන්නන්ම වී ඇත.

මේ තත්ත්වයේ වෙනසක් වන්නේ ක්‍රමානුකූල කාල වපසරියක ය. එකල සාන්ත තෝමස් සහ රාජකීයයින්ට වෙන් වූ ටෙනිස් ක්‍රීඩාව අද කළුතර සහ කරන්දෙණිය වැනි අඩු පහසුකම් සහිත පාසල්වලට පමණක් නොවේ හද්දා පිටිසර පාසල්වලටත් ව්‍යාප්ත වන්නේ ඒ කාල සංක්‍රමණයත් සමඟිනි. ඒ අත්‍යවශ්‍යයෙන්ම මැදිහත් වීමක් මගින් කළ දෙයකි. එහි ගෞරවය ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට හිමි විය යුතුය.

රෝද පුටු ටෙනිස් තරගාවලිවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පදක්කම් රැසක්

ඩී. එම්. ගාමිණී, ආර්. රණවීර, එස්. ධර්මසේන සහ එල්. සේනාරත්න යන ක්‍රීඩකයින් සිව් දෙනාගෙන්…

ඔවුන්ට ටෙනිස් ක්‍රීඩාව යම් ආධිපත්‍යයක රඳවා තබා ගැනීමට උවමනා වී නම් සෙන්ට් තෝමස්, රෝයලිස්ට් හා සමාන කොලීජි පමණක් සහභාගී කර ගත හැකි ආකාරයේ සැලසුමක සිටීමට හැකියාව තිබුණි. නමුත් ටෙනිස් ක්‍රීඩාව තමන් තුළම බහා තබා ගැනීමට වඩා ඔවුන්ට උවමනා වූයේ ගමට ටෙනිස් ගෙන යෑමට ය.

ශ්‍රී ලංකා ටෙනිස් ඉතිහාසයේ ශතක සංවත්සරය සමරා වසර ද්විත්වයක් ඉක්ම යන තැන එහි ප්‍රතිඵල ලැබී ඇත. ඒ බැව් දෑස් පනාපිට දැක ගැනීමට හැකි වී ඇත්තේ කළුතර විද්‍යාලයීය කණ්ඩායම ලැබූ ජයග්‍රහණයත් සමඟිනි.

“මේ ජයග්‍රහණය අපිට වගේම ජාතික ටෙනිස් සංගමයටත් සුවිශේෂයි. අපිට සුවිශේෂී වන්නේ මේ ලැබූ ජයග්‍රහණයත් සමඟ අපිට සෑම කෙනෙක්ටම අඟවන්න පුළුවන් වුනා දක්ෂ ක්‍රීඩකයන් අපිත් සමඟත් ඉන්නවා කියලා. අන් ක්‍රීඩකයන් හා ගත්තහම ඔවුන්ට තියෙන්නෙ අඩු පහසුකම්. ඒත් තරගකාරීත්වයේ කිසිදු අඩුවක් නැහැ. නමුත් තරගයක දී තිබෙන ආධුනික බව පමණක් ඔවුන්ට අවාසි වුනා. සංගමය පැත්තෙන් ගත්තහම මේ ජයග්‍රහණය සුවිශේෂී වෙන්නේ ඔවුන් බලාපොරොත්තු වූ දේ ඉටු වෙලා තිබෙන නිසා. අනිත් එක ශ්‍රී ලංකාවේ ටෙනිස් දියුණු කිරීමේ සැබෑ උවමනාවකින් කටයුතු කරන සෑම කෙනෙක්ටම මේ ජයග්‍රහණය උත්තේජනයක් කර ගන්න පුළුවන්. “ කළුතර විද්‍යාලයීය ටෙනිස් ප්‍රධාන පුහුණුකරු චමිල ඉද්දගොඩ මහතා ThePapare.com සමඟ පැවැසුවේය.   

ඉද්දගොඩ මහතා කළුතර විද්‍යාලයීය ටෙනිස් ප්‍රධාන පුහුණුකරු සේ ම ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ කළුතර සම්බන්ධිකාරක ලෙස ද කටයුතු කරයි. ඔහු පවසන්නේ කළුතර ටෙනිස් ව්‍යාප්ත කිරීම තමන්ට ලැබූ අසීරු අභියෝගයක් බවයි.

Photos: Astoria Womens Futures Tour – Week 2

Photos of Astoria Womens Futures Tour – Week 2..

“2008 වසරේ දී කළුතර විද්‍යාලයේ ටෙනිස් ආරම්භ කරන විට හරි හමන් ක්‍රීඩා පිටියක් තිබුණෙ නැහැ. ඒක තමයි අපි මුහුණ දුන් පළමු විශාලතම ප්‍රශ්නය. අද වුනත් එහි වෙනසක් නැහැ. මේ නිසා මම පළමුවෙන්ම කළේ ටෙනිස් ක්‍රීඩාංගණයක් හදන එක. ”  

එහි ප්‍රතිඵලය කළුතර ටෙනිස් මධ්‍යස්ථානය බිහිවීම ය. ඒ සඳහා සම්පූර්ණ මුදල් ආයෝජනය කර ඇත්තේ ඉද්දගොඩ මහතා ය. අද කළුතර විද්‍යාලයීය ටෙනිස් ක්‍රීඩකයෝ පුහුණුවීම් ලබන්නේ එහි ය. ඒ අනුව ඔවුන් පසුගිය වසරේ දී වයස අවුරුදු 7න් පහළ අන්තර් පාසල් ටෙනිස් තරගාවලියේ දී තෙවැනි ස්ථානය දිනා ගන්නේ ය. එය කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලැබූ පළමු ජයග්‍රහණයයි.

අනතුරුව ලබනුයේ මෙවර ජයග්‍රහණයයි. එම තරගාවලියේ දී කළුතර විද්‍යාලයීය ටෙනිස් පොඩ්ඩෝ ශ්‍රී ලංකාවේ නම රැන්දූ ටෙනිස් පාසල් වන කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, මීගමුව සාන්ත ජෝසප් විද්‍යාලය සහ විජයරත්නම් විද්‍යාලය තරග වට 5-0ක් සේ පරාජය කරන ලදි.  

මෙසේ ජයග්‍රහණය සෙවූ කණ්ඩායම තොසර සෙතුම්, ලතෙත් රසඳුන්, ඉන්දුල ප්‍රමිත්, චිතිර දේමිත, සවීනු සුහස්වින්, පූජන ශෙවින්, සදෙව් දෙව්මිණ, ට්‍රෙවින් ගිම්සර සහ අකේන් මේත්මිර යන අයගෙන් සමන්විත ය. කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ අශේන් සෙමුතු මහතා ය. කණ්ඩායම් භාර ආචාර්යවරිය ලෙස ශිරන්ති කරවිට මහත්මිය කටයුතු කරන්නීය.

“මේ සියලුම දෙනා ඉතා ම කැප වීමෙන් තම තමන්ගේ කාර්යයන් කරනවා. එහෙම නොවුනා නම් මේ ජයග්‍රහණය අපිට ලබා ගන්න වෙන්නෙ නැහැ. ඒ වගේ ම විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුළු විද්‍යාලයේ සියලුම දෙනාගෙන් ලැබූ සහයෝගයත් මේ ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් වුනා. මම හිතනවා, දැන් අපි අපහසුම කාලය ගත කරල ඉවරයි. දැන් තියෙන්නෙ මේ ලැබූ ජයග්‍රහණය ඉදිරියටත් රඳවා ගෙන ඉස්සරහට යෑම. ඒ වෙනුවෙන් කැප වෙන කණ්ඩායමක් මා සමඟ ඉන්නවා. ඔවුන් හෙට දවසේ දී කොළඹ ටෙනිස් ක්‍රීඩාවට විශාල අභියෝගයක් වේවි. “ ඉද්දගොඩ මහතා පැවැසුවේ ය.

අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක් සේ මෙරට ස්ථාපිත වූ ටෙනිස් ක්‍රීඩාව පාසල් මට්ටමෙන් තරගාවලියක් පළමු වරට පවත්වන්නේ මෙරටට නිදහස ලැබූ 1948 වසරේ දී ය. එතැන් සිට එහි ආධිපත්‍ය දැරූවෝ කොළඹ කොලීජිවල දුවා දරුවෝ ය. එය මෑතක් වනතුරුම වෙනසකින් තොරව සිදු විණි.

නමුත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය ගමට ටෙනිස් ගෙන යෑමට ගත් උත්සාහයේ දී එහි යම් වෙනසක් සිදු විය. එකී පරිවර්තනයේ කූටප්‍රාප්තිය කළුතර විද්‍යාලයීය වයස අවුරුදු 8න් පහළ ක්‍රීඩකයෝ ය.

ශ්‍රී ලංකා ටෙනිස් ඉතිහාසය වෙනස් කළ කළුතර පොඩ්ඩන්ට ජයෙන් ජය, ThePapare.com පැතුමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<