යොවුන් රග්බි ක්‍රීඩකයන් පිරිසක් මැලේසියාවේදී රෝහල් ගත කෙරේ

2990
Junior tuskers hit with high fever; Isuru Udayanga flown in as replacement

ආසියානු ශූරතා කනිෂ්ට රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා මැලේසියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වනවිට එරට රෝහලකට ඇතුලත් කර ඇති අතර සහාය පුහුණුකරු හෙන්රි ටෙරන්ස් ඇතුළු තිදෙනෙක් අධික උණ තත්ත්වයකින් පීඩා විඳින බවක්ද වාර්තා වෙයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාවට හොංකොං හමුවේ දැවැන්ත පරාජයක්!

ශලීන්ද්‍ර අලහකෝන් (ත්‍රිත්ව විද්‍යාලයීය අංක 8 ක්‍රීඩක), අදීශ වීරතුංග (ඉසිපතන විද්‍යාලයීය ෆ්ලෑන්කර් ක්‍රීඩක) සහ උදය සුපුන් (වේල්ස් කුමර විද්‍යාලයීය ලොක් ක්‍රීඩක) රෝහල් ගත කර ඇත්තේ ඔවුන් අධික උණ සහ වමනය තත්ත්වයකින් පීඩා විඳීම හේතුවෙනුයි. පසුගිය බදාදා හොං කොං සමඟ පැවති තරගයේ ආරම්භක කණ්ඩායම සඳහා නම් කර සිටි ශලීන්ද්‍ර අලහකෝන් තරගයට පෙර උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහු වෙනුවට අවසන් මොහොතේදී ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩක ධනුජ විජේරත්න කැඳවීමට සිදුවිය.

මැලේසියාවේ රැඳී සිටින ThePapare.com කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා රෝහල වෙත ගිය අතර පෙර කී ක්‍රීඩකයන් සියලු දෙනා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබුණි. තරගාවලියේ නිල වෛද්‍යවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය අස්ලින් මහතා මෙසේ පැවසීය.

”අපි තවමත් උත්සාහ කරනවා මෙම ක්‍රීඩකයන්ගේ රෝග මූලය හඳුනා ගැනීමට. ක්‍රීඩකයන්ට මේ වනවිට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ මේක ආහාර විස වීමක් ද එසේ නැතිනම් වෙනත් ආසාදනයක් නිසා ඇතිවූ රෝගී තත්ත්වයක්ද කියලා.” ඔහු වැඩිදුරටත් පැවසුවේ ආසියානු රග්බි සංගමය අද (15) දිනය තුල මේ පිලිබඳ නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු හෙන්රි ටෙරන්ස් මෙන්ම ඉසිපතන විද්‍යාලයීය ෆුල් බැක් ක්‍රීඩක ගයාන් වික්‍රමරත්න සහ විද්‍යා විද්‍යාල ෆ්ලෑන්කර් ක්‍රීඩක ජනිත් ලක්සර ද අධික උණ සහ පාචන තත්ත්වයකින් පීඩා විඳින බවත් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද තරමක උණ තත්ත්වයක් පවතින බවත් වාර්තා විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු 19න් පහල රග්බි ශූරතා තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයේ රැඳී සිටීමේ සටනකටද මුහුණ දීමට සිදුවී තිබේ. ඒබැවින් හෙට (17) චීන තායිපේ සමඟ පැවැත්වෙන තරගය ජය ගැනීම අනිවාර්ය කරුණක් බවට පත්ව ඇත. හොං කොං සමඟ පැවතී තරගයේ මිනිත්තු 5 ක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු කම්පන තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ ධනුජ විජේරත්න හටද අවසන් තරගය අහිමි වීමේ අවදානමක් පවතියි.

මේ අතර ඉසිපතන විද්‍යාලයීය ප්‍රොප් ෆෝවඩ් ක්‍රීඩක ඉසුරු උදයංග ආදේශක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක්වීම සඳහා මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ආසියානු ශූරතා 19න් පහල රග්බි තරගාවලියේ සියලු තොරතුරු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තත්ත්වය පිළිබඳවද අප නිරන්තර අවධානයෙන් පසුවන අතර ඒ සියලු තොරතුරු දැනගැනීම සඳහා ThePapare.com සමග රැඳී සිටින්න.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට