SAG කනිෂ්ඨ තේරීම් තරගය ලෙස ජෝන් ටාබට් ලබන සතියේ

257
Junior SAG trails to coincide with John Tarbet

ඔක්තෝබර් මස 19 සහ 20 දිනවල ඉන්දියාවේ ලක්නව් හීදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා කනිෂ්ට තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොර ගැනීම මෙවර ජෝන් ටාබට් ජ්‍යෙෂ්ට තරගාවලියේදී සිදුකිරීමට නියමිතයි. ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙල මේ මස 13 සිට 15 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගිය ලිපි: සර් ජෝන්ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය මෙවරත්

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 20ට වඩා අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට (1997 සහ 1998 වසර වල උපන්) දකුණු ආසියානු ක්‍රීඩා කනිෂ්ට තරගාවලියේ තේරීම් තරග සඳහා සහභාගී වීමට අවස්තාව හිමිවෙයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධාන කරන තේරීම් තරග සඳහා ඉදිරිපත්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් මලල ක්‍රීඩා සංගමයටත්, අනෙකුත් තරගකරුවන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයටත් අයදුම් පත් යොමු කල යුතුයි.

මේ වනවිට මෙරට භාවිත කල හැකි මට්ටමේ ඇති එකම මලල ක්‍රීඩා පිටිය වන්නේ දියගම ක්‍රීඩාංගනයයි. කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙලට මෙන්ම ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියටත් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික කාල ගණන පද්ධති සහ අනෙකුත් තාක්ෂණික උපකරණ එම ක්‍රීඩාංගනයේ දක්නට ලැබුනේ නැත. දකුණු ආසියානු ක්‍රීඩා කනිෂ්ට තරගාවලියට තේරීම් සිදුකෙරෙන ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියටත් එම ඉරණමම අත්වේදැයි ThePapare.com ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතාගෙන් විමසීමක් කරන ලදී. ඔහු පැවසුවේ ” ඉලෙක්ට්‍රොනික කාල ගණන පද්ධතියේ නවීකරණ කටයුතු සඳහා මොරටුව විශ්ව විද්‍යාලය වෙත භාරදී තිබනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙම තරගාවලියට පෙර එය නැවත ලැබෙයි කියලා. සුළං මාපකය නිසි අයුරින් ක්‍රියා කරනවා. එය මෙම තරගාවලියට භාවිත කළ හැකියි.”

තාක්ෂණික උපකරණ නොමැති වුවහොත් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතිදැයි කළ විමසීමකදී තිලකරත්න මහතා පැවසුවේ ”ඉලෙක්ට්‍රොනික කාල ගණන පද්ධතිය නිසි වෙලාවට නොලැබුණහොත් අපිට සිදුවෙනවා සාම්ප්‍රදායික ක්‍රමයට හස්ත කාල ගණන යන්ත්‍ර භාවිත කරන්නට. එසේ වුවහොත් අපි දකුණු ආසියානු ක්‍රීඩා කනිෂ්ට තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යලිත් යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනවා.” යනුවෙනුයි.

පසුගිය මාසයේදී පැවති රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වූ අතර ඉන් දෙවන වටයකට හෝ සුදුසුකම් ලබන්නට සමත් වූයේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන පමණයි. එම දුර්වල ඔලිම්පික් සහභාගීත්වයෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයාගේද අවධානය යොමු වූයේ 2024 වනවිට ඔලිම්පික් උළෙල සඳහා සහභාගීත්වය 25ක් දක්වා වර්ධනය කිරීමටයි. ඒ සඳහා පාසල් ක්‍රීඩකයන් සවිබල ගැන්වීම ක්‍රීඩා අමාත්‍යංශයේද ප්‍රධාන ඉලක්කයක් වී ඇති අවස්තාවක ලෝක මට්ටම දක්වා පැමිණීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ මහඟු තෝතැන්නක් ලෙස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා කනිෂ්ට තරගාවලිය නම් කල හැකියි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට