නව වාර්තාවක් සමඟින් පාරමී යලි තරග බිමට

229

IAAF වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලිය අද (10) ෆින්ලන්තයේ Tampere හිදී ආරම්භ වූ අතර දින පහක් පැවැත්වෙන මේ තරගාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් තරග බිමට පිවිසියේය. බාධක දිවීමේ ඉසව්වෙන් පාරමී වසන්ති හා මීටර 800 ඉසව්වෙන් ඩිලිෂි කුමාරසිංහ මෙසේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද ධාවන පථයට පිවිසුණි.

IAAF ලෝක යොවුන් ශූරතාවලියට පොඩ්ඩෝ එකොළහක් ෆින්ලන්තයට

ෆින්ලන්තයේ Tampere හි පැවැත්වෙන, IAAF ලෝක යොවුන් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

පාරමීගෙන් කනිෂ්ඨ වාර්තාවක්

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් දිනූ පාරමී වසන්ති ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් තරග බිමට එක්වුණු අතර බාලිකා මීටර 3000 බාධක දිවීමේ ඉසව්වේ දෙවන තේරීම් තරගයට ඇය සහභාගී විය.

18 වියැති පාරමී ඇයට වඩා දෙවසරක් වැඩිමල් ක්‍රීඩිකාවන් සමඟ කරට කර තරග වැදුණු අතර දෙවන තේරීම් තරගයේ දී සිය පෞද්ගලික හොඳම කාලය ද, නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් ද සමඟින් 10:20.12ක කාලයකින් පස්වැනියා ලෙස ඉසව්ව නිමා කිරීමට සමත් විය. අවාසනාවන්ත ලෙස ඇයට සිකුරාදා (13) පැවැත්වෙන අවසන් මහා තරගයේ ස්ථානයක් අහිමි වූයේ තේරීම් තරගවල පළමු ස්ථාන තුනත් ඉන්පසුව හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවන් හයත් පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා හෙයිනි.

පාරමී සහභාගී වූ තේරීම් තරගයේ ජය බහරේනයේ Mutile Yavi හිමි කර ගත් අතර දෙවන හා තෙවැනි ස්ථාන ඉතියෝපියාවේ Agrie Belachew හා ඇමරිකාවේ Kristlin Gear දිනා ගන්නා ලදි.

කාන්තා මීටර 3000 ඉසව්වේ ලොව දෙවැනියට හොඳම කාලය වාර්තා කර ඇති, එම ඉසව්වේ වත්මන් වයස අවුරුදු 20න් පහළ ශූරිය වන Celliphine Chespol තමන්ගේ ආධිපත්‍ය නැවතත් ධාවන පථය පුරා පතුරවමින් 9:45.60ක කාලයක් වාර්තා කරමින් පළමු තේරීම් තරගය ජය ගන්නා ලදි. කෙසේ වෙතත් තෙවැනි තේරීම් තරගය ජය ගත් උගන්ඩා ක්‍රීඩිකා Peruth Chemutai එම ඉසව්ව 9:34.34කින් නිමා කළ අතර ඇය අවසන් මහා තරගයේ දී ලෝක ශූරියට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත.

නිමා වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනා ගත් පාරමී, ආර්ජෙන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගාවලියට ද සහභාගී වූ අතර එහි දී මීටර 2000 බාධක දිවීමේ ඉසව්ව මේ තරග වාරය සඳහා ලොව හොඳම කාලය වාර්තා කරමින් ජය ගන්නට ද ඇය සමත් විය. ඔක්තෝබර් මස ආර්ජෙන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේ ප්‍රධානතම ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව ඇය වනු ඇත.


ඩිලිෂිගේ බලාපොරොත්තු බිඳ වැටේ

වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩිලිෂි කුමාරසිංහ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඇය එහි දී මීටර 800 ඉසව්වට සහභාගී වී සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය (2:04.53) වාර්තා කිරීමට සමත් විය.

කෙසේ වෙතත් අවසන් පූර්ව වටයට යාමට නම් ඇයට පළමු ස්ථාන හතර තුල සිටිය යුතුව තිබූ අතර පළමු මීටර 400 සාර්ථකව අවසන් කරත් දෙවන වටයේ දී හදිසියේම පාදයේ ආබාධයකට ලක්වීම නිසා ඇයට තරගය අවසන් කිරීමට හැකි වූයේ අවසාන තරගකරු ලෙසය.  

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වන මීටර 400 ධාවක අරුණ දර්ශන හෙට (11) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1.50ට මීටර 400 පළමු තේරීම් තරගයට එක්වීමට නියමිතයි.

තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<