නව වාර්තා 21කට තිඹිරි ගෙයක් වූ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය

908

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් 55 වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැරණි වාර්තා අලුත් කරමින්, නව වාර්තා බිහි කරමින් ඉතා සාර්ථකව අවසන් විය. අප්‍රේල් මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති තරගාවලියේ දී නව මලල ක්‍රීඩා වාර්තා 21ක් බිහිවීම කැපී පෙනෙන සිදුවීමකි. මීට අමතරව පැරණි තරග වාර්තා දෙකක් සම කිරීමට ද ක්‍රීඩකයින් දෙදෙනෙකුට හැකියාව ලැබුණි.

23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ධනංජය; ක්‍රීඩිකාව මදුෂිකා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය 55 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය අද (26) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්විය…

වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ යන වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩකයන් 1895 දෙනෙකු ද, ක්‍රීඩිකාවන් 1743 දෙනෙකු ද තරගාවලියට සහභාගී විය. මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, මීටර් 3000, මීටර් 5000 සහ මීටර් 10000 ධාවන තරග, මීටර් 100, මීටර් 110 සහ මීටර් 400 කඩුලු පැනීම, මීටර් 2000 සහ මීටර් 3000 බාධක දිවීම, උස පැනීම, දුර පැනීම, තුන් පිම්ම, රිටි පැනීම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, හෙල්ල විසි කිරීම, මිටිය විසි කිරීම, මීටර් 5000 සහ මීටර් 10000 ඇවිදීම යන ඉසව් තරගාවලියේ පැවති ඉසව් ලෙස දැක්විය හැකිය.

තරගාවලියේ බිහි වූ වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී,

අවුරුදු 23න් පහළ බාලක දුර පැනීම

LG Danajaya

ශ්‍රී ලංකා යුද හමුදාවේ එල්. ජී. ධනංජය මීටර් 7.83 පනිමින් මෙම ඉසව්වෙන් නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවන ලදී. මිට පෙර එම ඉසව්වේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේම මිලාන් දිසානායකය. ඒ 2012 වසරේ දී මීටර් 7.70 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. ඒ අනුව වසර 5ක් මිලාන් විසින් රැකගත් වාර්තාව මෙවර ධනංජය තමන් සතු කරගත්තේය.

අවුරුදු 23න් පහළ බාලක තුන් පිම්ම

UPA Karunasinghe

මෙම ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ යු. පී. ඒ. කරුණාසිංහ විසිනි. ඔහුගේ දක්ෂතාවය මීටර් 16.13කි. 2015 වසරේ මීටර් 15.95 දුරක් පනිමින් ඔහු විසින්ම මිට පෙර තබා තිබු වාර්තාව යලිත් අලුත් කිරීමට කරුණාසිංහට හැකියාව ලැබුණි.

අවුරුදු 23න් පහළ බාලක මිටිය විසි කිරීම

HMAS Bandara

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තරග කල එච්. එම්. ඒ. එස්. බණ්ඩාර මෙවර මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව මලල ක්‍රීඩා වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ඒ මීටර් 40.27ක දක්ෂතාවයක් දක්වමිනි. මීට පෙර එම ඉසව්වෙන් තබා තිබූ වාර්තාවේ හිමිකරු වූයේ යුද හමුදාවේම පී. කේ. එල්. ප්‍රභාෂණය. ඒ පසුගිය වසරේ මීටර් 36.44 දුරක් මිටිය විසි කරමිනි.

අවුරුදු 20න් පහළ බාලක දුර පැනීම

කොච්චිකඩේ ලොයෙලා විද්‍යාලයේ නිපුන් කවිඳු කල්දේරා මීටර් 7.52ක දුරක් පනිමින් මෙම ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කියන ලදි. ඔහු අතින් බිඳ වැටුනේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ එල්. පී. එස්. ධනංජය විසින් පසුගිය වසරේ දී මීටර් 7.41ක් පනිමින් තබා තිබූ වාර්තාවයි.

අවුරුදු 20න් පහළ බාලක රිටි පැනීම

අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයේ කේ. නැප්තලි ජෝයිසන් විසින් මෙම ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවන ලදි. ඔහුගේ දක්ෂතාවය මීටර් 4.61 කි. වලල ඒ. රත්නායක ම. ම. විද්‍යාලයේ එම්. එච්. අයි. සඳරුවන් විසින් 2013 වසරේ මීටර් 4.50 පනිමින් තබා තිබූ වාර්තාව ඒ සමඟින් බිඳ වැටිණි.

අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 දිවීම

KPT Ravishka Indrajith

සාන්ත බෙනඩික් විද්‍යාලයේ කේ. පී. ටී. ආර්. ඉන්ද්‍රජිත් තත්පර 48.87 කාලයකින් තරගය නිමා කරමින් මෙම ඉසව්වේ නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ සමගම 2015 වසරේ කොළඹ ගේට්වේ විද්‍යාලයේ එන්. ජයවර්ධන තත්පර 49.05කින් තබා තිබූ වාර්තාව බිඳ වැටුණි.

අවුරුදු 18න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීම

Sheshan Kariyawasam

මෙහි නව තරග වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ෂෙහාන් කාරියවසම්ය. ඔහුගේ දක්ෂතාවය තත්පර 14.41ක් ලෙස සටහන් විය. මිට පෙර එහි තිබූ වාර්තාව වූයේ තත්පර 14.48කි. එහි හිමිකරු වූයේ රත්නපුර සීවලී ම. ම. විද්‍යාලයේ අකිල  රිවිෂන්ක ය.

අවුරුදු 16න් පහළ බාලක මීටර් 800 දිවීම

Nuvan Danajaya Bulugahapitiya

මෙම ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට සමත්වූයේ අම්පිටිය බ්‍රේවරෙට්ස් විද්‍යාලයේ නුවන් ධනංජය බුලුගහපිටිය ක්‍රීඩකයා ය. ඔහුගේ දක්ෂතාවය මිනිත්තු 1:59.82කි. වලල ඒ. රත්නායක විද්‍යාලයේ ඩි. එම්. එච්. සඳරුවන් මිනිත්තු 2:00.59කින් තබා තිබූ වාර්තාව ඒ සමඟින් අහෝසි විය.

අවුරුදු 16න් පහළ බාලක මීටර් 100 කඩුලු පැනීම

අම්පිටිය බ්‍රේවරෙට්ස් විද්‍යාලයේ ඒ. ජී. අනුරාධ ශ්‍රීමාල් විසින් තත්පර 13.63න් මෙම ඉසව්ව නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. රත්නපුර සීවලී ම. ම. විද්‍යාලයේ ඒ. පී. වී. ඒ. රවිශංක තත්පර 13.77න් තරගය නිමා කරමින් තබා තිබූ වාර්තාව ඒ සමඟින් බිඳ වැටුණි.

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 200 දිවීම

PGN MadushIka 1

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තරග වැදුණු පී. ඩී. එන්. මදුෂිකා මෙම ඉසව්වේ නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ තත්පර 24.78න් තරගය නිමා කරමිනි. ඒ සමඟම 2007 වසරේ දී මාදම්පේ සේනානායක ම. ම. විද්‍යාලයේ ආර්. එම්. චන්ද්‍රිකා සුභාෂිනි විසින් තත්පර 24.83 දක්ෂතාවයක් දක්වමින් තබා තිබූ වාර්තාව වසර 10කට පසු බිඳ දැමීමට මදුෂිකාට හැකි විය.

අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 400 දිවීම

PGN MadushIka 2

මෙම ඉසව්වේ ද නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ පී. ඩි. එන්. මදුෂිකා සමත් විය. ඒ තත්පර 55.10න් තරගය නිමා කරමිනි. මෙම ඉසව්වේ ද පෙර තිබූ වාර්තාවේ හිමිකාරිය වූයේ මාදම්පේ සේනානායක ම. ම. විද්‍යාලයේ ආර්. එම්. චන්ද්‍රිකා සුභාෂිනී ය. ඇගේ දක්ෂතවය ලෙස සටහන් වූයේ තත්පර 55.61කි. ඒ අනුව වසර 9කට පසු එම වාර්තාව ද බිඳ දැමීමට මදුෂිකා සමත්විය.

අවුරුදු 23න් පහළ බාලිකා රිටි පැනීම

තෙලිප්පලයි මහජන විද්‍යාලයේ ජේ. අනීතා මීටර් 3.40 පනිමින් මෙම ඉසව්වේ තරගාවලි වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වුවාය. ඇය බිඳ දමනු ලැබුවේ 2013 වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්. කාවේරි විසින් තබා තිබූ වාර්තාවයි. එහි දක්ෂතාවය ලෙස සටහන් වී තිබුණේ මීටර් 3.10කි.

අවුරුදු 20න් පහළ බාලිකා තුන් පිම්ම

BMH Prabopda Balasuriya

වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරමින් තරග වැදුණු බී. එම්. එච්. ප්‍රබෝධා බාලසුරිය මීටර් 13.20 දක්ෂතාවයක් දක්වමින් මෙම ඉසව්වේ නව වාර්තාවකට හිමිකම් කීමට සමත් වුවාය. 2015 වසරේ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ එච්. ඩි. විදූෂා ලක්ෂානි විසින් මීටර් 13.12 දුරක් පනිමින් තබා තිබූ වාර්තාව ප්‍රබෝධාගේ නමට ඉදිරියෙන් සටහන් විය.

අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 කඩුලු පැනීම

DM Yamali Dulanjalee

මෙහි නව මලල ක්‍රීඩා වාර්තාවේ හිමිකාරිය අඹගමුව ම. ම. විද්‍යාලයේ ඩී. එම්. යමාලි දුලංජලි ය. ඇගේ දක්ෂතාවය මිනිත්තු 1:01.68 කි. ඒ සමඟින් 2014 වසරේ දී කුලියාපිටිය ම. ම. විද්‍යාලයේ ඒ. පී. කෞෂල්‍යා මදුශානි විසින් තත්පර 61.99න් තබා තිබූ වාර්තාව බිඳ දැමීමට යමාලී සමත් වුවාය.

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 100 දිවීම

Sachini Divyanjalee

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී තත්පර 12.26න් තරගය නිමා කරමින් නව මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටුවීමට සමත්වූවාය. මෙම ඉසව්වේ මීට පෙර තිබූ වාර්තාව වූයේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ අක්ශානා මාරලන්ද විසින් තත්පර 12.29කින් තරගය නිමා කරමින් තබා තිබූ වාර්තාවයි.

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 3000 දිවීම

HMB Asmika Herath 1

කුලියාපිටිය ම. ම. විද්‍යාලයේ අශ්මිකා හේරත් විසින් මෙම ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවන ලදි. ඒ මිනිත්තු 10:18.8න් තරගය නිමා කරමිනි. ඒ සමාගම 2010 වසරේ දී වලල ඒ. රත්නායක ම. ම. විද්‍යාලයේ වයි. එම්. ටී. ඩී. ඩී. කුමාරි විසින් මිනිත්තු 10:35.75න් තරගය අවසන් කරමින් තබා තිබූ වාර්තාව අහෝසි විය.

අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 2000 බාධක දිවීම

HMB Asmika Herath 2

මෙම ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් බිහි කිරීමට අශ්මිකා හේරත් සමත් වූ අතර ඇගේ දක්ෂතාවය ලෙස සටහන් වූයේ මිනිත්තු 6:59.96කි. වලල ඒ. රත්නායක ම. ම. විද්‍යාලයේ එස්. ජී. එම්. කේ. වීරසිංහ විසින් 2013 වසරේ දී මිනිත්තු 7:10.95න් තරගය නිමා කරමින් තබා තිබූ වාර්තාව මේ සමඟම බිඳ වැටුණි.

අවුරුදු 18න් පහළ බාලිකා රිටි පැනීම

තෙලිප්පලයි මහජන විද්‍යාලයේ සී. හෙරීනා මෙම තරග ඉසව්වේ නව වාර්තාවේ හිමිකාරියයි. මීටර් 3.01 පනිමින් ඇය මෙම නව වාර්තාව තැබුවාය. හෙරීනා විසින් බිඳ දමනු ලැබුවේ ජේ. අනිතා විසින් 2014 වසරේ දී මීටර් 3 දුරක් පනිමින් තබා තිබූ වාර්තාවයි.

අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 200 දිවීම

Sadeepa Henderson

රාජගිරිය ගේට්වේ විද්‍යාලයේ සදීපා හෙන්ඩර්සන් විසින් තත්පර 25.88න් තරගය නිමා කරමින් මෙහි නව තරග වාර්තාවේ හිමිකාරිය බවට පත්විය. මීට වසර 12කට පෙර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ජේ. ඒ. එන්. එස්. ජයසිංහ විසින් තත්පර 25.97න් තරගය නිමා කරමින් තබා තිබුණු වාර්තාව සදීපා තමාගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් වුවාය.

අවුරුදු 16න් පහළ බාලිකා දුර පැනීම

S.H Sadini Kavisha

විජිත ම. ම. විද්‍යාලයේ සඳිනි කවීෂා මීටර් 5.48ක දුරක් පනිමින් නව තරග වාර්තාවක් පිහිටුවන ලදී. ඒ අනුව කොළඹ මියුසියස් විද්‍යාලයේ අචින්තා නිර්මානි විසින් 2005 වසරේ දී මීටර් 5.46 පනිමින් තැබූ වාර්තාව වසර 12කට පසු තමාගේ නම ඉදිරියෙන් ලියා ගැනීමට සඳිනි කවීෂා සමත් වුවාය.

අවුරුදු 16න් පහළ බාලිකා යගුලිය දැමීම

මෙහි නව තරග වාර්තාවේ හිමිකාරිය කොළඹ කාන්තා විද්‍යාලයේ ශරිෂා ගුණසේකර ය. ඇගේ දක්ෂතාවය මීටර් 11.55ක් ලෙස සටහන් විය. 2014 වසරේ දී මීගමුව ආවේ මරියා විද්‍යාලයේ ජානි ගයානා ද සිල්වා ක්‍රීඩිකාව විසින් මීටර් 11.43 දුරක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාව ශරීෂා උදුරා ගැනීමට සමත් වුවාය.

සම කළ තරග වාර්තා

අවුරුදු 23න් පහළ බාලක මීටර් 200 දිවීම

ශ්‍රී ලංකා යුධද හමුදාවේ එච්. එස්. එස්. කුමාර තත්පර 21.60කින් තරගය නිමා කරමින් පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවේම කේ. එස්. එල්. වික්‍රමසිංහ විසින් තබා තිබූ වාර්තාව සම කිරීමට සමත් විය.

අවුරුදු 18න් පහළ බාලක රිටි පැනීම

චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ඒ. පුවිතරන්ට  මීටර් 4.20 පනිමින් 2015 වසරේ දී යාපනය අරුණෝදය විද්‍යාලයේ කේ. නප්තලි ජෝයිසන් විසින් තබා තිබූ වාර්තාව සම කිරීමට මෙහි දී හැකියාව ලැබුණි.

මෙලෙස නව මලල ක්‍රීඩා වාර්තා 21ක්  බිහි කිරීමට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය දින 4ක් පුරාවට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිඹිරි ගෙයක් විය. මෙම ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වන විට මෙතරම් වාර්තා ගොන්නක් වාර්තා පොත් අතරට එකතුවෙද්දී, නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කළ එලි දුටු තරගාවලියක් ලෙසින් ද මෙවර තරගාවලිය හඳුන්වාදිය හැකිය. නමුත් තවමත් අපේ රටේ ක්‍රීඩාංගණ වල ඇති පහසුකම් නම් ඉතාමත් අවම මට්ටමක පවති.

හෙට දිනයේ දී මෙම අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලය ජය ගනිමින් ද, ඉන් අනතුරුව ජාත්‍යන්තරය ජය ගනිමින් ද ශ්‍රී ලංකා මාතාවට අභිමානයක් ගෙන එනු ඇත. එතෙක් ThePapare.com අපි මෙන්ම සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් ද මග බලා සිටිනු ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට