ජොන්ටි රෝඩ්ස්ට අනුව හොඳම පන්දු රකින්නන් පස්දෙනා

4404

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු රැකීම ගැන කතාබහ කරන විට අමතක කළ නොහැකිම චරිතයකි දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස්. වරෙක ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දු රකින්නන් කවුදැයි ICCය ඔහුගෙන් විමසද්දී ඔහු නූතන ක්‍රීඩකයින් පස්දෙනෙකු සිහිකළේය. පුදුමය නම්, ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රැකීම ගැන කතාබහ කිරීමේ දී අමතකම වන ඉන්දියානුවෙකු ඔහුගේ ලැයිස්තුවේ පළමුවැන්නා වීමයි.

නූතන ක්‍රිකට් ක්‍රීඩාව තුළ ශ්‍රේෂ්ඨ පන්දු රකින්නන් සිට තිබෙනවා.” ජොන්ටි පිළිතුරු දීම ඇරඹුවේ එසේයි. ලොව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඔහුව සලකන්නේ නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින්නන් අතර ශූරයා වශයෙන් වුවත්, ජොන්ටි පවසන්නේ තමන්ට වඩා දක්ෂයින් කරළියේ සිටි බවයි.

www.simplylifeindia.com – ජොන්ටි දැන් පන්දු රැකීමේ පුහුණුකරුවෙකු සහ අභ්‍යාසකවරයෙකි.

මම පන්දු රැකලා තියෙන්නේ කවය ඇතුළේ විතරයි.” ඔහු කියයි. අප ඔහුව වැඩිපුරම දැක ඇත්තේ යාර 30 සීමාව තුළ දී බව නම් සැබෑ ය. පන්දු රැකීම යනු යාර 30 පමණක් නොව දස්කම් රැසක එකතුවකි.

ඇන්ඩෲ සයිමන්ඩ්ස්

කවය ඇතුළෙත් කවයෙන් පිටත් හොඳට පන්දු රකිනවා දැකලා තියෙන අයගෙන් මුලින්ම මතකයට එන්නේ ශක්තිමත් අතක් සහිත ඕස්ට්‍රේලියානු ඇන්ඩෲ සයිමන්ඩ්ස්.” ජොන්ටි එසේ කීවේය. අපි එය විමසා බලමු.

ඔහු සුචල්‍යතාවයෙන් ඉදිරියෙන් සිටියේය

එක්දින තරග 198ක්, ටෙස්ට් තරග 26ක් සහ 20-20 තරග 14කට ක්‍රීඩා කොට ඇති සයිමන්ඩ්ස් ජාත්‍යන්තර උඩපන්දු 107ක් රැකගෙන ඇත. ඔහුගේ විශේෂ දක්ෂතා අතුරෙන් මගේ මතකයට නැගෙන පළමුවැන්න ඔහු විසින් කෙරෙන පසු අත් විසිකිරීමයි (back hand throw). එමෙන්ම දුවද්දී දවා ගැනීම් වලදී ඔහුගේ ඉලක්කය 90%ක්ම නිරවද්‍ය විය. Wests Tigers කණ්ඩායම වෙනුවෙන් රග්බි ලීග් ක්‍රීඩාව ද කළ සයිමන්ඩ්ස් ශක්තිමත් බාහු යුගලයක හිමිකරුවෙක් වූ අතර සුචල්‍යතාවයෙන් (agility) ඉදිරියෙන් සිටියේය. ඔහු සම්බන්ධව ජොන්ටි සමඟින් එකඟ නොවන්නට හේතුවක් නැත.

හර්ෂල් ගිබ්ස්

සමකාලීනයෙකු හැටියට ඔහු අදහාගන්න බැරි තරමේ පන්දු රකින්නෙක්.” ජොන්ටි තම සමකාලීනයාව සිහි කළේ එලෙසිනි.

circleofbollywood.in – බැක්වර්ඩ් ඔෆ් පොයින්ට් කලාපය ඔහුගේ විය.

ජොන්ටි රෝඩ්ස්ගේ සමුගැනීමෙන් පසුව ජොන්ටිගේ සුවිශේෂී පන්දු රකින ස්ථානය වූ පොයින්ට් සහ බැක්වර්ඩ් ඔෆ් පොයින්ට් කලාපයේ අයිතිය හිමි වූයේ ගිබ්ස් හටයි. එක්දින තරග 248ක්, ටෙස්ට් තරග 90ක් සහ 20-20 තරග 23කට ක්‍රීඩා කොට ඇති. ගිබ්ස් ජාත්‍යන්තර උඩපන්දු 210ක් රැකගෙන ඇත. එක්දින ජාත්‍යන්තර පන්දු ඕවරයක දී හයේ පහරවල් හයක් එල්ල කළ වාර්තාව සතුවන්නේ ද ඔහු නමටයි. කඩුල්ල අසල පන්දු රැකීමට ඔහු පැමිණෙන සෑම අවස්ථාවක්ම පිතිකරුවන්ට හිසරදයකි.

පෝල් කොලින්ග්වුඩ්

අරුම පුදුම පන්දු රකින්නෙක්. පන්දු රකින ස්ථානවලින් මට ටිකක් සමාන කෙනෙක්.” ජොන්ටිගේ ලැයිස්තුවේ තෙවැන්නා එංගලන්ත ජාතිකයෙකි.

www.theringsideview.com – කොලින්ග්වුඩ් අහසට නැගුනේ පියගැටපෙළක නැග ඉහළට යන ආකාරයෙන්

පෝල් කොලින්ග්වුඩ් යන නම සිහිවන විටම සිහිවන එක් විශේෂ උඩපන්දුවක් තිබේ. ඒ 2005 එංගලන්ත – ඕස්ට්‍රේලියා Natwest එක්දින තරගාවලියේ දී මැතිව් හේඩන්ව දවා ගැනීමට ඔහු විසින් රැකගත් තනි අත් උඩපන්දුවයි. එහි දී කොලින්ග්වුඩ් අහසට නැගුණේ පියගැටපෙළක නැග ඉහළට යන ආකාරයෙන්. එක්දින තරග 197ක්, ටෙස්ට් තරග 68ක් සහ 20-20 තරග 36ක දී ජාත්‍යන්තර උඩපන්දු 219ක් රැකගෙන ඇති කොලින්ග්වුඩ් යාර 30 කවයෙන් පිටත දී ද අතිදක්ෂයෙකි.

ඒ. බී. ඩිවිලියර්ස්

මම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු වශයෙන් වැඩ කළා. ඔහු කඩුලු රකින්නාගේ අත්වැසුම් පැළඳගන්න හැමවිටකම මම කනගාටු වුනා, ඒ. බී. ඔයා පිටියේ ඉන්න ඕන කියලා.” ඒ. බී. ඩී. නම් වූ අතිදක්ෂ පන්දු රකින්නා මෙම ලැයිස්තුවේ ඉහළට ඇතුළත් කිරීම ගැන නම් ජොන්ටිට කිසිදු චෝදනාවක් කළ නොහැකිය.

www.gqindia.com – ඒ. බී. හට ද පාවිය හැකිය

එක්දින තරග 228ක්, ටෙස්ට් තරග 114ක් සහ 20-20 තරග 78ක දී ජාත්‍යන්තර උඩපන්දු 463ක් සුරැකිව රැකගෙන ඇති ඒ. බී. කලක් කඩුලු රකින්නෙකු ලෙස ද ක්‍රීඩා කළේය. ඔහු විසින් පිටියේ දී සිදු කළ අතිදක්ෂ දුවද්දී දවා ගැනීම් දෙකක් අපගේ මතකයේ ඇත. එකක් 2006 ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා එක්දින තරගයක දී සයිමන් කැටිච්ව දවා ගැනීම වෙනුවෙන් පෑ දස්කමයි. අනෙක 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්ව දවා ගැනීමට පෑ දස්කමයි.

සුරේෂ් රෙයිනා

මම සුරේෂ් රෙයිනාගේ දැවැන්ත ප්‍රේක්ෂකයෙක් ඔහු ක්‍රීඩා කරන්න පටන්ගත් දා ඉඳන්ම. ඔහු ක්‍රීඩා කරන්නේ ඉන්දියාවේ, ඔබ පන්දුවට පනින හැමවිටකම ඔබේ අතපය ඉදිමෙනවා. හැබැයි ඔහු මම පනින්න ඕන ද, නැද්දකියලා දෙපාරක් හිතන්නේ නෑ. මගේ දර්ශනයත් ඒ වගේම තමයි, ඔබ පනින්නේ නැත්නම් ඔබ දන්නේ නෑ (රැකගත හැකි ද / නොහැකි ද කියා).”  ජොන්ටි පළමුවැන්නා ගැන දිගු විස්තරයක් කළේ ඔහුගෙන් උගත හැකි දෑ බොහොමයක් තරුණ ක්‍රීඩකයන්ට පෙන්වා දීමේ අදිටනින් විය යුතුය.

espncricinfo.com – කවය තුළත් ඉන් පිටතත් ඔහු වැඩකාරයෙකි

එක්දින තරග 226ක්, ටෙස්ට් තරග 18ක් සහ 20-20 තරග 78ක දී උඩපන්දු 167ක් වාර්තා කළ සුරේෂ් රෙයිනාගේ මා දුටු විශේෂත්වය නම් ඔහුගෙන් උඩපන්දුවක් ගිලිහෙන සම්භාවිතාවය ඉතා අඩු වීමයි. කෙතරම් දක්ෂ පන්දු රකින්නෙකු අතින් වුවද උඩපන්දුවක් දෙකක් ගිලිහීම ස්වාභාවික කරුණක් වුවත්, රෙයිනා තමන්ට යාර 30 කවය තුළ දී හෝ ඉන් පිටත දී ලැබෙන සෑම අවස්ථාවක් ගැනම අවධානයෙන් සිටියි. බිම දිගේ එන පන්දු ඉක්මනින් රැකගෙන නැවත කඩුල්ල වෙත ලබා දීමට ඔහුට ගතවන කාලය ඉතා කෙටි ය.

දක්ෂතම ශ්‍රී ලාංකික පන්දු රකින්නන් 10 දෙනා කවුරුන් ද?

දකුණු ආසියාවේ වඩාත් නම්‍යශීලී සහ සුචල්‍ය ….

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රැකීම ගැන උනන්දුවක් දක්වන සහ එය පුහුණුවන ඕනෑම කෙනෙකුට ජොන්ටි රෝඩ්ස් විසින් ඉහත කී පන්දු රකින්නන්ගෙන් උගත හැකි බොහෝ දේ ඇත. ඔවුන්ව නිර්දේශ කරන්නේ ලොව පහල වූ අතිදක්ෂ පන්දු රකින්නෙකු බැවිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<