ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුත් වෙනස් වේ

3871
පිතිකරණ පුහුණුකරු ධුරයට පත් ජෝන් ලුවිස් ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර සමග මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ අයුරු.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් (ජෝන්) ලුවිස් පත් කිරීමට වත්මන් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

සීතල දෙසැම්බරය ප්‍රථමයෙන් උණුසුම් කරන්නේ කවුරුන් ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (15) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය වෙලින්ග්ටන්…

නවසීලන්තය සමඟ මවුන්ට් මවුන්ගනිහි  ආරම්භ වන පළමු එක්දින තරගයට පෙර හෙවත් ජනවාරි මස 01 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන ලුවිස්, 2019 වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා නොකළ ද එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ කණ්ඩායම් කිහිපයකටම ක්‍රීඩා කර ඇති ලුවිස්, පිතිකරුවෙකු ලෙස පළමු පෙළ තරගවල දී ලකුණු 10,000 සීමාව (10,821) ඉක්මවාලීමට සමත්ව ඇති දක්ෂ පිතිකරුවෙකි. 1990 වසරේ දී ප්‍රථමයෙන්ම එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමෙන් ප්‍රාන්ත ක්‍රිකට් දිවිය අරඹා ඇති ඔහු ප්‍රාන්ත තරග 205කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 32කට ආසන්න අගයක් (31.92) රඳවා ගෙන තිබේ. සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ ශතක 16ක් සහ අර්ධ ශතක 66ක් වාර්තා කරගෙන ඇති ලුවිස්ගේ ඉනිමක වැඩිම ලකුණු ලෙස නොදැවී ලබාගත් ලකුණු 210 සටහන් වේ.

මෙම පත්වීමට ප්‍රථම එංගලන්ත ප්‍රාන්තයක් වන ඩර්හැම් ප්‍රාන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද ලුවිස්, පළමු පෙළ දිවියට තිත තියන ලද 2009 වසර වන තෙක්ම ඩර්හැම් දෙවැනි පෙළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. එම කණ්ඩායමේ ක්‍රීඩකයකුට අමතරව නායකයකු සහ පුහුණුකරුවකු වශයෙන් වසර 22ක කාලයක් සේවය ලබා දී තිබේ. 1997 වසරේ දී ඩර්හෑම් කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඇරඹූ ලුවිස්, 2006 වසරේ විශ්‍රාම යන විට එම ප්‍රාන්තය වෙනුවෙන් ලකුණු 7854ක් රැස් කිරීමට සමත්ව තිබේ. එය ප්‍රාන්ත කණ්ඩායමක් වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කර තිබෙන තෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙන් අදටත් වාර්තා අතර වේ.

2013 වසරේ දී ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්ව ඇති ලුවිස්ගේ පුහුණුකාරීත්වය යටතේ, තෙවැනි වතාවටත් ප්‍රාන්ත තරගාවලි කුසලානයක ජයග්‍රහණ අත්කර දීමට සමත්ව තිබේ. ඊට අමතරව 2014 වසරේ පැවති රෝයල් ලන්ඩන් එක්දින ශූරතාව ද දිනා ගැනීම ඔහුගේ පුහුණුකරු දිවියේ වූ කැපී පෙනෙන සිදුවීම් අතර වේ.

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට පිතිකරණ අංශයේ දුර්වලතාව තදින්ම බලපෑ සිදුවීම් අතර ප්‍රධාන තැනක් ගැනීම නිසා මෙම විශේෂඥ පුහුණුකරුවාගේ සේවය ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන්ගේ තීරණය වී තිබේ. ලුවිස්ගේ පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර වන අතර ඔහු නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වීමත් සමඟ එම ධුරයෙන් ඉවත් වීමට නියමිතව තිබේ.

මෙම වෙනස්කම සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරේ ද වෙනසක් සිදු කරමින් හිටපු පුහුණුකරු මනෝජ් අබේවික්‍රම වෙනුවෙන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ලද ස්ටීව් රික්සන්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගනු ලැබූ අතර ඔහු ලබන 24 වැනිදා සිට එම ධුරයේ කටයුතු කිරීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<