ශ්‍රී ලාංකික පුරුෂයෙකු ප්‍රථම වරට එවරස්ට් ජය ගනී

395

ජොහාන් පීරිස් අද (22) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 05.40ට ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ කඳු මුදුනට ළඟා වීමට සමත් වූ අතර එවරස්ට් කඳු මුදුනට ළඟා වූ දෙවන ශ්‍රී ලාංකිකයා ඔහු වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික පුරුෂයා ද වේ. මේ වන විට ඔහු කඳු මුදුනෙන් නැවත පහළට බැසීම ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ජොහාන් එවරස්ට් තරණයේ අවසාන පියවරට සැරසේ

එවරස්ට් කන්දේ මුදුනටම ගමන් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරු-උතුම්පාල සමඟින්…

එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරු-උතුම්පාල සමඟ 2016 දී ජොහාන් ද කඳු තරණයේ යෙදුනත් කඳු මුදුනට මීටර් 440ක් තිබිය දී ඔහුගේ ඔක්සිජන් ටැංකියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම සුවිශේෂී අවස්ථාව අතහැර දමන්නට ඔහුට සිදු විය. සිය බිඳුණු බලාපොරොත්තුව අතහැර නොදැමූ ඔහු 2017 වසර පුරා නැවත එවරස්ට් තරණය සඳහා පුහුණුවීම් වල නිරත වූ අතර ‘Climb Everest With Johann’ නමින් ව්‍යාපෘතියක් ඇරඹූ ඔහු එවරස්ට් තරණයේ එක් පියවරක් සඳහා ජනතාවට රුපියල් 100ක් වැනි මුදලින් ආධාර කළ හැකි වනසේ වැඩපිළිවෙළක් සැකසුවේ ජනතාවගේ සක්‍රිය දායකත්වය ද ලබා ගැනීමේ අරමුණින්. Johann Pierisපසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවෙන් සිය සංචාරය ඇරඹූ ඔහු එවරස්ට් මූලස්ථාන කඳවුරේ දී පුහුණු සැසි රාශියකට සහභාගි වූ අතර ‘rotations’ නමින් හැඳින්වූ මෙම පුහුණු සැසි වලින් පසු මැයි 19 වැනිදා එවරස්ට් තරණය ඇරඹීමටත්, 23 වැනිදා එවරස්ට් මුදුනට ළඟා වීමට නියමිතව තිබුනත් කාලගුණික හේතු නිසා දිනයක් කලින්, මැයි 22 වැනිදා ඔහුට එවරස්ට් මුදුනට ළඟා වීමට සිදු විය.

එවරස්ට් කඳු තරණයටත් වඩා භයානක ලෙස සැලකෙන එවරස්ට් කන්දේ ඉහල සිට පහළට බැසීම ජොහාන් මේ වන විටත් ආරම්භ කර ඇති අතර එවරස්ට් මූලස්ථාන කඳවුරට පැමිණීමට ඔහුට දින දෙකකට ආසන්න කාලයක් ගත වනු ඇත.

ThePapare.com අප ජොහාන් පිරිස් හට ඉතා සතුටින් සුබ ප්‍රාර්ථනා කරන අතර ආරක්‍ෂිත ලෙස නැවත ශ්‍රී ලංකාවට ළඟා වීමට ඔහුට හැකි වේවා ප්‍රාර්ථනා කරන්නෙමු.

>>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<