ජොෆ්රා ආචර් එංගලන්තයට ගිය හැටි

1804
perthnow.com.au

​​බාබෙඩෝස් නම් කුඩා දූපතේ උපන් ජෝෆ්රා ආචර් එංගලන්තය විසින් නෙළාගෙන ඇත. ඔහුව අයත් වීමට තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් හවුලට වූවත් එංගලන්ත බලධාරීන් ආචර්ගේ ජාතිකත්වයේ හරි ඉලක්කයටම විද ඔහුව තමන්ගේ වට්ටියට දමා ගත්තේ ඔවුන්ගේ සංක්‍රමණික නීති-රීති ඉක්මනින් කරකවාගනිමිනි. ආචර් එතරම් වැදගත් වන්නේ ඇයි?

කිසි දිනෙක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කොට නොතිබූ 24 හැවිරිදි ජොෆ්රා ආචර් සසෙක්ස් ප්‍රාන්තය නියෝජනය කළේය. පසුව බිග් බෑෂ් ලීගයේ දී හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ 20-20 දස්කම් නිසා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙත මිල දී ගන්නා ලදි. ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) වෙත ගිය ඔහුගේ දස්කම් ඉතාම හොඳින් එළිදැක්වීමේ අවස්ථාව ඔහුට හිමි විය. ඔහුගේ දකුණත් මැදි වේගපන්දු සහ පහළ මැදපෙළින් පැමිණ ඔහු විසින් එල්ල කරන දිගු පහරවල් 2019 IPL හිදී දැක ගත හැකි වීමත් සමඟ ජොෆ්රා ආචර් යන නම ක්‍රිකට් මාධ්‍ය අතර ප්‍රකට විය.

performgroup.com
ජොෆ්රා ආචර්

ආචර් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අයිතිය ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දීයි. අයර්ලන්තයට සහ පාකිස්තානයට එරෙහි තරගාවලියක නිරත වීමට නියමිත එංගලන්ත සංචිතයට ඔහුව නම් කොට තිබේ. නමුත් එතරම් ඉක්මනින් ජාත්‍යන්තර කණ්ඩායමකට ක්‍රීඩකයෙකු ආනයනය කළ හැකි දැයි යන්න විවාදාත්මක වශයෙන් කතාබහ වේ.

උදාහරණයක් ලෙස එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙකුම ආනයනිකයන් ය. ඔවුන්ගේ නායකයා වන ඔයින් මෝගන් ද අයර්ලන්ත ජාතිකයෙකි. බෙන් ස්ටෝක්ස් දකුණු අප්‍රිකානුවෙකි. ආචර්ව එංගලන්ත සංචිතයට නම් කෙරෙන්නේ කෙටි කාලයක් ඇතුළත ය. ඔහු මෙන්ම බාබෙඩෝස්හි උපත ලද ක්‍රිස් ජෝඩ්න් ද ලෝක කුසලානයට පෙර එංගලන්ත – පාකිස්තාන – අයර්ලන්ත තරගාවලියට නම් කොට ඇත. වාර්තා වන අන්දමට මෙම තරගාවලිවල දී දස්කම් දැක්වුවහොත් ඔවුනට මැයි 30 වැනිදා ඇරඹෙන ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත සංචිතයට ඇතුළත් වීමේ නොහැකියාවක් ද නැත.

ඔහු මෙතරම් ඉක්මනින් එංගලන්තයට පැමිණියේ කෙසේ ද?

ජොෆ්රා ආචර් උපන්නේ බ්‍රිතාන්‍ය පියෙකු සහ බාබෙඩෝස් කාන්තාවකට දාව ය. කුඩා කල සිටම ඔහුගේ පන්දුවලට වේගය එක්ව තිබූ නිසා වයස අවුරුදු 11 දී ම ඔහුගේ ගුරුවරුන් සහ පුහුණුකරුවන් විශ්වාස කොට ඇත්තේ ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවයි.

ඔහුට ආරම්භක පිතිකරු ලෙස පැමිණ පන්දුවට පහර දී මුලින්ම පන්දු යැවීමේ හැකියාවත් තිබුණා.” ඔහුගේ පුහුණුකරු බෲස් කොසෙන්ස් කියයි.

පොඩි කාලෙදිම ඔහුට හොඳ වේගයක් තිබුණා. එක කාලෙක දී අපට වේගපන්දු යවන්නන් ගොඩක් හිටියා. ඒ නිසා ඔහු දඟපන්දු යවන්න පටන් ගත්තා… හොඳින්. අවුරුදු 15 දී 16 දී විතර ඔහු තීරණය කළා ආයෙත් වේගපන්දු යවන්න.” කොසෙන්ස් තවදුරටත් කියයි.

Video – ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම එක්දින පිතිකරුවා – Vivian Richards

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්ව ඔබට මතකද?

19න් පහළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තෙවරක් නියෝජනය කළ ආචර් 2015 ලෝක කුසලාන සංචිතය ගැන සිහින මවමින් සිටිය ද එහි දී සැලකිල්ලට නොගැනුණු නිසා එංගලන්තයට සංක්‍රමණය විය. ඊට ඔහුට සහාය වූයේ ඔහුගේ රටේම ඉපිද එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නට වරම් දිනා ගත් ක්‍රිස් ජෝඩ්න් ය.

මම එකපාරක් බාබෙඩෝස් වල පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළා විදේශීය ක්‍රීඩකයා වශයෙන්. එතකොටයි මට ජොෆ්රාව හමුවුනේ. ඔහු අපිත් එක්ක පුහුණුවීම් වලට පැමිණියා.” ක්‍රිස් ජෝඩ්න් තම මතකය අවධි කරයි.

මම බැට් කරන්න පෑඩ් දාගත්තා. ෂායි හෝප් (බ. ඉ. කොදෙව් ක්‍රීඩක) තමයි කඩුලු රැක්කේ. ජොෆ්රා පන්දු යවන සීමාවට යද්දී හෝප් ඇවිත් කිව්වා මේ පොඩි එකා උඹ හිතනවට වඩා වේගෙන් දානවාකියලා. මම ඔහු දිහා බැලුවට මොකුත් හිතුවේ නෑ.”

ක්‍රිස් ජෝඩ්න් දැන් පිතිකරණ සීමාවේය. ආචර් ඔහුට පළමු පන්දුව යැව්වේය.

ඒක මගේ ඔලුව පහුකරගෙන ෂුස්ගාලා ගිය බවුන්සර් එකක්. ඒක හරි ඉලක්කයට ආව නම් මට සිහි නැති වෙනවා. මං බිම වැටුණා. ෂායි දුවගෙන ඇවිත් හිනාවෙවී කිව්වා මං උඹට කිව්වා නේද?’ කියලා.” ආචර්ගේ ශක්තිමත් මනස සහ දස්කම් හඳුනා ගත් ජෝඩ්න් සසෙක්ස් හි තම පුහුණුකරු මාක් රොබින්සන් හට ඔහු ගැන සැලකළේය. රොබින්සන් විසින් ආචර්ව එංගලන්තයට කැඳවා ගත් අතර ඉන්පසුව සිදු වූ සියල්ල ඉතිහාසගත බව ජෝඩ්න් කියයි.

indianexpressonline
ක්‍රිස් ජෝඩ්න් ද බාබෙඩෝස් සිට එංගලන්තයට සංක්‍රමණය වූවෙකි.

සසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 28කට ක්‍රීඩා කළ ආචර් කඩුලු 131ක් දවාගෙන ඇත්තේ 23.44ක පන්දු යැවීමේ සාමාන්‍යයක් සහිතව මෙන්ම කඩුලු 5 දස්කම් 5ක් ද සහිතව ය. දැන් ඔහු පැ.කි.මී. 140කට වැඩි වේගයකින් පන්දු යැවීමේ හැකියාවක් ද පෙන්නුම් කරයි.

මමයි, ටිමාල් (ටිමාල් මිල්ස්) වුයි, රයිටි (ලූක් රයිට්) යි ඔහුට විහිළු කළා වේගය ගැන.” මින් පෙර තරගවාරයේ දී පුරුද්දක් ලෙස පැ.කි.මී. 140 වේගය ඉක්මවා නොතිබුණු ආචර් වේගයෙන් පන්දු යැවීමට හේතුව ජෝඩ්න් ඇතුළු කණ්ඩායමේ විහිළු ය.

ඔහු ඒ ගැන පොඩ්ඩක් කලබල වුනා. ඒක කරපු පළමු දවසෙම ඔහු හැමෝටම කතා කරලා ඒක පෙන්නුවා. දැන් ඔහු ඒක නොනවත්වා කරගෙන යනවා. ජිම් යන නිසා ද දන්නේ නෑ.” ජෝඩ්න් තවමත් පවසන්නේ විහිළුවෙනි.

ජොෆ්රා ආචර් එංගලන්තයට පැමිණෙන විට තිබූ තත්වය අනුව ඔහුට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නම් වසර 7ක් එංගලන්තයේ ජීවත්ව සිටීම අවශ්‍ය විය. එහෙත් පසුගිය වසරේ සිට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම නීතිය ලිහිල් කරන ලදි.

2018 දී හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමේ සිට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙත යන විට ඔහු වෙත ගෙවන ලද මුදල පවුම් 800,000කි.

කරපු හැමදේදීම, ඔහු බැට් කරද්දීත්, බෝල් කරද්දීත්, ෆීල්ඩ් කරද්දීත් ඔහු නිකන් ඇවිදින විශේෂ අවස්ථා වීඩියෝවක් වගේ. හැම තරගයක දී ම ඔහු මොකක් හරි විශේෂ දෙයක් කළා.” සසෙක්ස් හි ආචර්ගේ මිතුරු ටිමාල් මිල්ස් කියයි. ඔහු ද හෝබාර්ට් හරිකේන්ස් වෙනුවෙන් ක්‍රීඩා කළේය.

හෝබාර්ට් කියන්නේ හරි පොඩි තැනක්. හවසට අපි එහෙ බාර් එකකට ගිහින් බොනකොට ඉක්මනින් ඔහුව කවුරුහරි අඳුනගන්නවා. ඔහුට ලොකු අවධානයක් හිමි වුනා. මං හිතන්නේ ඒ දවස් ටිකේ ඔහු හෝබාර්ට් වල වීරයෙක් වගෙයි හිටියේ.” මිල්ස් සිහිකරයි.

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ආචර්ගේ සගයෙකු වන බෙන් ස්ටෝක්ස් පවසන අන්දමට ඔහු ස්වාභාවික දස්කම් සහිත වේගපන්දු යවන්නෙකි.

newsapi.com.au
බෙන් ස්ටෝක්ස්

ඔහු තමයි මම දැකලා තියෙන වැඩිම ස්වාභාවික දස්කම් ඇති පන්දු යවන්නා. මං හිතන්නේ ඔහුටවත් තේරෙන්නේ නැතුව ඇති ඔහු කොච්චර හොඳ ද කියලා. සමහර වෙලාවට ඔහු ඇඟිල්ලකින් දාන වැඩ වාව්!ඒක බලන්න ලැබීමත් විශේෂයි.” ස්ටෝක්ස් කියයි.

ඔවුන්ට අමතරව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මයිකල් වෝන්, පොල් ෆාබ්‍රේස්, ටීනෝ බෙස්ට් වැනි ක්‍රීඩකයන් ද ආචර්ගේ දස්කම් අගය කරමින් සිටියි. ටීනෝ බෙස්ට් පවසන අන්දමට බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් මීළඟ ෆ්ලින්ටොෆ් හෝ ස්ටෝක්ස් වීමේ හැකියාව ඔහුට ඇත.

දේශීය සහ ලීග් තරගාවලිවල දී ඔහුගේ පිතිකරණ දස්කම් නැරඹීමේ දී එම අදහස ප්‍රතික්ෂේප කළ නොහැකිය. ස්වාභාවිකවම දක්ෂ පන්දු යවන්නෙකු වන ඔහුට ඕනෑම පහරක් එල්ල කිරීමේ හැකියාව තිබෙන බව ක්‍රිස් ජෝඩ්න් පවසයි.

ඔහු හරියට බැට් කරනවා කවුරුත් තවම දැකලා නැහැ. ඔහුට ඕනම පහරක් ගහන්න පුළුවන්. ස්කූප්, ඩැබ්, එළියට ගහන පාරවල්, ස්වීප්…”

ජොෆ්රා ආචර් නම් ක්‍රීඩකයාගේ ආගමනයත් සමඟ එක්දින ක්‍රිකට්වල දී නැවතත් තුන් ඉරියව් ක්‍රීඩකයාගේ රාජකාරිය සහ වැදගත්කම ගැන කතාබහක් ඇතිව තිබේ. සියල්ලටම වඩා සතුටුදායක කාරණය නම් සෑම ක්‍රීඩකයෙකුගේ සහ පුහුණුකරුවෙකුගේම ආදරය දිනා ගැනීමට ආචර් සමත්ව තිබීමයි. ඔහුට මෙලෙසම තම දස්කම් ද අනෙකුත් ක්‍රීඩකයන්ගේ ආදරයත් රැකගත හැකි නම්, දියුණු කරගත හැකි නම් එය ක්‍රිකට් ලොවේ ප්‍රගමනයට බෙහෙවින් ඉවහල් වනු ඇත.

– BBC ඇසුරින්…  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<