ජීවන් මෙන්ඩිස්ට විස්සයි විස්ස වරම් හිමි වේ

2159

පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් බංග්ලාදේශය සමඟ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා ජාතික පන්දුවාර 20 ක්‍රිකට් සංචිතයට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

[rev_slider LOLC]

තරග දෙකකින් සමන්විත මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 18 වැනිදා යි.

නිත්‍ය සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් අප පෙර වාර්තා කළ ආකාරයටම දිනේෂ් චන්දිමාල් පන්දුවාර 20 කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර තිබේ. මැතිව්ස් පසුගිය මස පැවති තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්වූ අතර එම තරගාවලියේ අවසන් භාගයේ එක්දින කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද චන්දිමාල් විසිනි.

විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව..

35 හැවිරිදි ජීවන් මෙන්ඩිස් අවසන් වරට ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ වුවද, අදාළ තරග රටාවේ ලොව පුරා පැවති ලීග් තරගවල දී වාර්තා කළ දස්කම් ද සමඟින් පන්දුවාර 20 තරග 120ක දී ලකුණු 1800කට සහ කඩුලු 60කට ඔහු හිමිකම් කියයි.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා කණ්ඩායමේ සිය ස්ථානය ආරක්ෂා කරගෙන ඇති අතර එම කණ්ඩායමට ඇතුළත්ව සිටි චතුරංග ද සිල්වා, සචිත් පතිරණ සහ සධීර සමරවික්‍රම කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත් වී නොමැති අතර බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය තුල දී ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක මෙන්ම 20 හැවිරිදි යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. අසිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන්නේ එක් එක්දින තරගයකට පමණි.

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සෝ, පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ මෙන්ම වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතය සඳහා නැවත කැඳවා ඇත.

ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග ද බංග්ලාදේශ තරග සංචාරයේ පන්දුවාර 20 සංචිතයේ ක්‍රීඩකයන් 15 දෙනා අතර ස්ථානයක් හිමි කර ගැනීමට අසමත් වී ඇති අතර, ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වී සිටි දීර්ඝ කාලයෙන් අනතුරුව මාලිංග එක්දින තරග 13ක දී දවාගෙන ඇත්තේ කඩුලු 10ක් පමණි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ පැවති තරග සංචාර සඳහා ඔහුව යොදා නොගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් ඔහුගේ නැවත පැමිණීමෙන් පසු පන්දුවාර 20 තරග තුල දී දැක්වූ දස්කම් ඉහළ මට්ටමක පැවතුනි. මාලිංග පසුගිය පන්දුවාර 20 තරග 6 තුල දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12ක්.

ශ්‍රී ලංකා සංචිතය:

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන්  දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුශංක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සෝ, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<