FA කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය දා පැවති තරගවලින් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කළ ජාවා ලේන් කණ්ඩායමත්, මීගමුව යූත් කණ්ඩායම දඬුවම් පහර වටයේ දී 3-1ක් ලෙස පරාජය කළ සෝන්ඩර්ස් SC කණ්ඩායමත් අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

ජාවා ලේන් කණ්ඩායම – ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම මෙම තරගයට පිවිසියේ ශූරයින්ගේ කුසලානයේ සුපිරි 8 දෙනාගේ කණ්ඩායමක් වන නිව් යන්ග්ස් SC කණ්ඩායම පරාජය කරමිනි. ජාවා ලේන් කණ්ඩායම ද ඔවුන් මීට පෙර සහභාගී වූ කිරුළපන යුනයිටඩ් කණ්ඩායම සමඟ තරගය ජය ගැනීමට සමත් විය.

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයින් දෙපළක් වන කලීඩ් අස්මිල් සහ මොහොමඩ් ශිෆාන් මෙම තරගය සඳහා ක්‍රීඩා නොකළ ද, ඔවුන් තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් විය. ඔවුන් පන්දුව හොඳින් හසුරුවමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ මොහොමඩ් ශිමාක් හට නිදහස් පහරක් මඟින් ලැබුණු පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ඔහු උත්සාහ කළත් පන්දුව ගෝල රාමුවට ඉහළින් ඉවතට ඇදී ගියේය.

Java Lane SCමීළඟ අවස්ථාව ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේ මොහොමඩ් රස්වාන් එල්ල කළ පහර ජාවා ලේන් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක සෙනරත් විසින් පහසුවෙන් රැක ගැනීමත් සමඟයි. ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙපළක් වන මොහොමඩ් රිස්කාන් සහ නවීන් ජූඩ්ට පන්දුව හසුරුවන්නට එතරම් අවස්ථාවක් ලබා නොදෙන්නට වග බලා ගත්තේය.

ජාවා ලේන් කණ්ඩායම ද තරගයට අවතීර්ණ වෙමින් රිස්කාන් ලබා ගත් නිදහස් පහර අවස්ථාවට මාලක පෙරේරා තම කණ්ඩායමට තරගයේ ප්‍රථම ගෝලය හිමි කර දීමේ අරමුණින් හිසින් පහරක් එල්ල කළ ද එය ගෝල රාමුව ආසන්නයෙන් ඉවතට ඇදී ගියේය. ඊට මිනිත්තු කිහිපයකට පසුව ඉතා හොඳින් පන්දුව හසුරුවමින් තම කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමිකර දෙන්නට නවීන් ජූඩ් සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ජූඩ් තවත් ගෝලයක් ලබා ගන්නට උත්සාහ කළත් එය වළකා ගන්නට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ගෝල රකින්නා සමත් විය.

පළමු අර්ධය: ජාවා ලේන් කණ්ඩායම 1 – 0 ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගත් මාලක පෙරේරා පන්දුවට හිසින් වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගන්නට උත්සාහ ගත්ත ද ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් අක්රම්ගේ විශිෂ්ට ගෝල රැකීම හේතුවෙන් එය ව්‍යර්ථ විය.

ජාවා ලේන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තවදුරටත් තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය සාර්ථකව මෙහෙයවීමට සමත් වූ අතර මුනීර් සලී සහ නවීන් ජූඩ් තරගයේ දෙවැනි ගෝලය රැස්කිරීමට ගත් උත්සාහයන් දෙකම සාර්ථක වූයේ නැත.

කෙසේ වුවත් මිනිත්තු කිහිපයකට පසුව ජාවා ලේන් ක්‍රීඩකයින් තම දෙවැනි ගෝලය රැස්කරගැනීමට සමත් වූයේ ගෝල රාමුවේ වැදී ආ පන්දුවක් මොහොමඩ් ෂබීර් සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කිරීමට සමත් වීමත් සමඟයි. ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් පන්දුව හොඳින් හසුරුවමින් ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගැනීමට සමත් වුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් අපොහොසත් විය.

තරගයේ තෙවැනි ගෝලය ලබා ගන්නට ජාවා ලේන් කණ්ඩායමේ ජානක චමින්දට ලැබුණු පහසු අවස්ථාව ඔහු අතින් ගිලිහී ගියේ ඉතා අවාසනාවන්ත ලෙසයි. නමුත් ඔහු මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස මෙම තරගයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය.

මිනිත්තු කිහිපයකට පසුව රිස්කාන් සහ චමින්ද පන්දුව මැනෙවින් හසුරුවමින් ගෝලයක් රැස්කිරීමට මාලක පෙරේරාට අවස්ථාවක් උදාකර දුන්නත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඉවතට ඇදී ගියේය.

ආදේශක ක්‍රීඩක මොහොමඩ් අලීම්ට ගෝලයක් රැස්කර ගන්නට හිමි වූ අවස්ථාව ද ඔහු අතින් ගිලිහී ගියේ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින්ට තම පළමු ගෝලය රැස්කර ගන්නට හිමි වූ තවත් අවස්ථාවක් අහිමිව යමිනි. මේ අනුව තරගය අවසානයේ ජාවා ලේන් කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

දෙවන අර්ධය: ජාවා ලේන් කණ්ඩායම 2 – 0 ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් රිස්කාන් (ජාවා ලේන් කණ්ඩායම)

ThePapare.com සමඟ අදහස් දැක්වූ ජාවා ලේන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පවසා සිටියේ,

“අපි පසුගිය මාස කිහිපය පුරාවටම හොඳින් ක්‍රීඩා කළ නිසා තරගය ජයග්‍රහණය කරන එක පහසු වුනා. අද තරගයේ දී අපි අතින් අවස්ථා ගොඩක් ගිලිහී ගියා. නැත්නම් අද අපිට ගෝල 6ක් 7ක් රැස්කර ගන්න තිබ්බා. ඒ පිළිබඳව පුහුණුවීම්වල දී අවධානය යොමු කළ යුතුයි. රිනවුන් කණ්ඩායම සමඟ පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය තරමක් අපහසු තරගයක් වෙයි. නමුත් අපි එයට හොඳින් සූදානම් වෙනවා.”

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනවීර මෙසේ පැවසීය.

“තරගය පැරදුණත් අද ක්‍රීඩකයින් ක්‍රීඩා කරපු විදිහ ගැන මම සතුටට පත් වෙනවා. මොකද අපිට අද ක්‍රීඩා කරන්න වුනේ ප්‍රබල ක්‍රීඩකයින් 4ක් නැතුව. අද ක්‍රීඩා කළේ අත්දැකීම් අඩු, අලුත් කණ්ඩායමක්. ඒ වගේම අපේ නිල ක්‍රීඩාංගණයෙන් පිට ක්‍රීඩා කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. අපි අතින් තරගයේ පළමු අර්ධයේ දී අවස්ථා ගොඩක් ගිලිහුණා. ඒ අවස්ථාවන් ලබා ගන්න පුළුවන් වුනා නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබ්බා. නමුත් ජාවා ලේන් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී හොඳින් ක්‍රීඩා කළා. අපේ මීළඟ ඉලක්කය මෙම වසරේ ශූරයින්ගේ කුසලානය.”

ගෝල ලාභීන්

  • ජාවා ලේන් කණ්ඩායම – මාලක පෙරේරා 37’, මොහොමඩ් ෂබීර් 59’

කහ කාඩ්පත් ලාභීන්

  • ජාවා ලේන් කණ්ඩායම – ෆහීම් නිසම්දීන් 67’
  • ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම – මොහොමඩ් සෆ්රි 40’, මොහොමඩ් අක්රම් 54’

සෝන්ඩර්ස් SC – මීගමුව යූත් SC

කණ්ඩායම් දෙකම මෙම තරගයට පිවිසියේ ඔවුන් සහභාගී වූ කලින් තරග දෙකේ දී ගෝල 15 බැගින් ලබා ගනිමිනි. මීට පෙර තරගයේ දී සෝන්ඩර්ස් SC කණ්ඩායම අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම ගෝල 6-1ක් ලෙසත් මීගමුව යූත් SC කණ්ඩායම ජෙට් ලයිනර්ස් කණ්ඩායම ගෝල 6-0ක් ලෙසත් පරාජය කිරීමට සමත් විය.  

මීගමුව යූත් SC ක්‍රීඩකයින්ට තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කිරීමට ගත වූයේ මිනිත්තු 4ක කාලයක් පමණි. එම ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ ප්‍රියංකර සිල්වා යි.

තරගයේ 8 වන මිනිත්තුවේ දී ඔවුන් සිය දෙවන ගෝලය ද රැස්කර ගත්තේ ප්‍රදීප් ප්‍රනාන්දු වාර්තා කර ගත් ගෝලයත් සමඟයි.

Saunders SCමීගමුව යූත් ක්‍රීඩකයින් මුළු පිටියම ප්‍රයෝජනයට ගනිමින් පන්දුව හැසිරවූයේ සෝන්ඩර්ස් ක්‍රීඩකයින් අන්ද මන්ද කරමිනි. තවත් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී හරීන්ද්‍ර පීරිස් හට තම කණ්ඩායමට 3 වන ගෝලය හිමි කර දීමට ඉතා හොඳ අවස්ථාවක් උදා වුවත් සෝන්ඩර්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක, ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ්ගේ දක්ෂ ගෝල රැකීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි විය.  

මීගමුව යූත් ක්‍රීඩකයින් ඉක්මන් ගෝල 2ක් වාර්තා කිරීම හේතුවෙන් මහේන්ද්‍රන් දිනේෂ් වෙනුවට අත්දැකීම් බහුල අසංක විරාජ් ආදේශ කරන්නට සෝන්ඩර්ස් කණ්ඩායම කටයුතු කරන ලදි.

සෝන්ඩර්ස් ක්‍රීඩකයින් 16 වන මිනිත්තුවේ දී තම පළමු ගෝලය රැස්කර ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ විය. එම ගෝලය රැස්කරන ලද්දේ ඉන්දීවර උදාර විසිනුයි.

මිනිත්තු කිහිපයකට පසුව සෝන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක අසංක අනවශ්‍ය දඬුවම් පහරක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නත් එම දඬුවම් පහර ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට ඔහු ඉඩ ලබා දුන්නේ නැත.

මින්පසුව කාණ්ඩයම් දෙකටම ගෝල රැස්කර ගැනීමට අවස්ථා කිහිපයක්ම උදා වුවත් ඒවා සියල්ල සාර්ථක කර ගැනීමට ක්‍රීඩකයින් අසමත් විය. කෙසේ වුවත් තරගයේ 39’ වෙනි මිනිත්තුවේ දී ක්‍රිෂාන්ත අබේසේකර ලබා ගත් පැති පහර අවස්ථාවට හිසින් පහරක් එල්ල කරමින් සෝන්ඩර්ස් කණ්ඩායම සිය දෙවැනි ගෝලය ලබා ගත්තේ තරගයේ ලකුණු තත්වය සම කර ගනිමිනි.

පළමු අර්ධය – සෝන්ඩර්ස් SC 2 – 2 නිගම්බෝ යූත් SC

තරගයේ දෙවැනි අර්ධය ආරම්භයේ ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සෝන්ඩර්ස් ක්‍රීඩකයින් සමත් විය. ඉසුරු පෙරේරා හට හිසින් පහරක් එල්ල කරමින් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් දෙවැනි වරටත් උදා වුවත් මෙම අවස්ථාවේ දී පන්දුව ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

සුළු මොහොතකින් මීගමුව යූත් ක්‍රීඩකයින් ද හොඳින් ක්‍රීඩා කරමින් නැවතත් තරගයට අවතීර්ණ විය. මීගමුව යූත් කණ්ඩායමේ ආදේශක ක්‍රීඩක රාජරත්නම් මිනන් තරගයට ආදේශ කර මිනිත්තුවක් ඉක්ම යාමට පෙර ඔහුට රතු කාඩ් පතක් හිමි වූ අතර ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය. එහි දී සෝන්ඩර්ස් ක්‍රීඩකයින් හට ලැබුණු නිදහස් පහර අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

සෝන්ඩර්ස් ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගන්නට මහත් උත්සාහයක් දැරුවත් මීගමුව යූත් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මධුවන්ත එම උත්සාහයන් සියල්ල වළකා ගන්නට සමත් විය. සෝන්ඩර්ස් කණ්ඩායමේ නිරේෂ් හට ගෝල රාමුව ඉතා ආසන්නයේ දී ගෝලයක් ලබා ගැනීමට හිමි වූ අවස්ථාව ද සාර්ථක වූයේ නැත. තරගයේ සම්පුර්ණ කාලය අවසානයේ ලකුණු තත්වය සමව තිබූ නිසා තරගය දඬුවම් පහර වටය දක්වා දීර්ඝ විය.

දෙවන අර්ධය – සෝන්ඩර්ස් SC 2 – 2 මීගමුව යූත් SC

දඬුවම් පහර වටයේ දී මීගමුව යූත් ක්‍රීඩකයින් හට සාර්ථක කර ගැනීමට හැකිවූයේ එක් අවස්ථාවක් පමණි. ප්‍රියංකර සිල්වා විසින් එම අවස්ථාව සාර්ථක කර ගන්නා ලදි. ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක අසංක විරාජ් අවස්ථාවන් 2ක් ආරක්ෂා කර ගැනීමට සමත් වූ අතර අනෙක් අවස්ථාව ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

අනෙක් පසින් සෝන්ඩර්ස් ක්‍රීඩක ඉන්දීවර උදාර ලබා ගත් දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි වුවත් සජිත් ධර්මපාල, සනෝජ් සමීර හා නායක චානුක එරංග යන ක්‍රීඩකයින් ලබාගත් අවස්ථාවන් තුනම සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. ඒ අනුව ඔවුන් දඬුවම් පහර වටයෙන් තරගය ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය.

දඬුවම් පහර වටය: සෝන්ඩර්ස් SC 3 – 1 මීගමුව යූත් SC

ThePapare.com තරඟයේ වීරයා: අසංක විරාජ් (සෝන්ඩර්ස් SC)

ThePapare.com සමඟ අදහස් දැක්වූ සෝන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සුමිත් වල්පොළ පවසා සිටියේ,

“අපේ ක්‍රීඩකයෝ අද වෙනදා තරම් හොඳට ක්‍රීඩා කළේ නෑ. මේ තිබෙන කාලගුණ තත්වෙත් එක්ක ඔවුන්ගෙන් 100% දක්ෂතා බලාපොරොත්තු වෙන්න බෑ. තරගය ජය ගත්තත් මම සෑහීමකට පත්වෙන්නේ නෑ. අපිට තව අමතර ගෝල 2ක් හෝ 3ක් වාර්තා කරන්න තිබ්බා. හැබැයි පළවෙනි මිනිත්තු 10 තුල ප්‍රතිවාදීන් ගෝල 2ක් ලබා ගත්තත් අපි කලබල වුනේ නෑ. අපිට ඇති තරම් කාලය තිබ්බා, අපි ඒකෙන් ප්‍රයෝජනය ගත්තා. අපේ කණ්ඩායම අත්දැකීම් බහුල කණ්ඩායමක්. වසර 10කට වඩා අත්දැකීම් තිබෙන ක්‍රීඩකයොත් කණ්ඩායම තුළ ඉන්නවා. අද අපිට තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ ඔවුන් නිසා. අපි අසංක විරාජ්ව තරගයට ආදේශ කළෙත් ඔහුගේ අත්දැකීම් නිසා. අපිට නවක ක්‍රීඩක දිනේෂ්ට පීඩනයක් දෙන්න අවශ්‍ය වුනේ නෑ.”

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් SC – උදාර ඉන්දීවර 16’, ඉසුරු පෙරේරා 39’
  • මීගමුව යූත් SC – ප්‍රියංකර සිල්වා 04’, ප්‍රදීප් ප්‍රනාන්දු 08’

කහ කාඩ්පත් ලාභීන්

  • මීගමුව යූත් SC – මදුශාන්ත තිසේරා 52’, මොහොමඩ් නුස්ලන් 89’

රතු කාඩ්පත් ලාභීන් – රාජරත්නම් මින් 65’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට